ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට කල්යයි

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කර තිබු පෙත්සම් විභයට ගැනීමේ තීරණය ප්‍රකාශයට පත්කිරීම හෙට පෙරවරු 10 දක්වා කල් තැබුණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද(12) මූලික අයිතිවාසිකම් පෙත්සම් 13ක් ඉදිරිපත්  කළ අතර හදිසි නඩු කටයුත්තක් ලෙස සලකා ඒවා අද පෙරවරුවේ විභාග කෙරුණි.

එහිදී  එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කබීර් හෂීම්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ආර්.සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක ඇතුළු පස්දෙනෙකු, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් රවුෆ් හකීම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදියුදීන් සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ නියෝජනය කරමින් මනෝ ගනේෂන් යන මහත්වරුන් පෙත්සම් ගොනු කළේය.

මීට අමතරව සිවිල් සංවිධානයක් ලෙස විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයත් සිවිල් පුරවැසියන් ලෙස නීතිඥ අරුණ ලක්සිරි,අධිනීතිඥ ලාල් විජේනායක ඇතුළු 08 දෙනෙකු විසින් තවත් මූලික අයිතිවාසිකම් පෙත්සම් 05 ක් ගොනු කරනු ලැබුවේය.

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයෙකු වන මහාචාර්ය එස්.රත්නජීවන් එච්.හූල් මහතා ද අද මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති ගැසට් නිවේදනය ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලමින්ය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මහාචාර්ය චන්න ජයසුමන මහතා අදාළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට එරෙහිව කරුණු දැක්වීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලමින් අතරමැදි  පෙත්සමක් ද ගොනු කර තිබුණි.

අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් ද ඒ අයුරින්ම අතරමැදි පෙත්සමක් ගොනු කරනු ලැබුවේය.

අදාළ පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති නිසා ජනාධිපතිවරයා නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත් , තීන්දුවක් ලබාදෙන තෙක්  මහ මැතිවරණය පැවැත්වීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර අද පෙරවරුවේ පෙත්සම් ගොනු කිරීමත් සමඟ එම සියලු පක්ෂවල හිටපු මන්ත්‍රීවරුන් සහ පවතින කැබිනට් මණ්ඩලයේ ඇතැම් අමාත්‍යවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය පරිශ්‍රය වෙත පැමිණ සිටියේය.

මෙහිදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය වෙත අදහස් පළ කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම ස්ථානයේ සිටි පිරිසක් විරෝධය දැක්වීමක් හේතුවෙන් නොසන්සුන් තත්ත්වයක් උද්ගත වුණි.

මේ අතර පෙත්සම් සලකා බැලීම අගවිනිසුරු නලින් පෙරේරා,ප්‍රියන්ත ජයවර්ධන,ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද ආරම්භ වුණි.

මෙම කරුණු විමසීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කලේ මෙම පෙත්සම්වලට අදාළ දැනුම්දීම් තමන් වෙත ලැබුණේ අද දිනයේ බැවින් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශන ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසයි.

එහෙත් පෙත්සම් වලට අදාළ කරුණු විමසීම ආරම්භ කිරීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කරනු ලැබුවේය.

ඒ අනුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ.කනගඊෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කරමින් පවසා සිටියේ ඉකුත් 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් එක් අවස්ථාවක් වන්නේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හතර හමාර ඉක්මවා ගිය පසුව එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව කියා සිටියේය.

ඉන් අනතුරුව පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු ඉදිරිපත් කළේය.

මේ ආකාරයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට  පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා පෙන්වා දුන්නේය.

ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන් එම්ඒ සුමන්දිරන් යන මහත්වරු වෙනුවෙන් ද නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට තිරනය ව්‍යවස්ථා විරෝධී බවයි.

ඒ අනුව ඉදිරිපත් වූ පෙත්සම් 13 අතරින් 10 ක කරුණු සලකා බැලීම අද අවසන් වූ අතර පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු දැක්වීම හෙට දින සිදු  කිරීමට නියමිතයි.

එහිදී නීතිපතිවරයා විසින් කරුණු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දක්වනු ඇති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුලතිව් ප්‍රදේශයේ සිදුවූ පිපිරීම යුද ටැංකි නාශක බිම් බෝම්බයක් විය හැකි බවට තොරතුරු

Mohamed Dilsad

දේශීය කලාකරුවන් රැක ගැනීමට ජනපතිගේ සහය

Mohamed Dilsad

ආරුමුගම් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග‍්‍රසයේ සාමාජිකයෝ ජනපති හමුවෙති

Mohamed Dilsad

Leave a Comment