දේශීය

දුෂ්කර පාසල්වල ගුරුවරුන්ට වැටුපට අමතරව තවත් දීමනාවක් – අධ්‍යාපන ඇමති

(UTV | කොළඹ) –  දුෂ්කර හා අති දුෂ්කර පාසල්වල සේවය කරන සියලු ගුරුවරුන්ට වැටුපට අමතර ව දීමනාවක් ලබාදීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෑගල්ලේ පැවති ජනහමුවකට එක්වෙමින්.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වමින්, දැනට ශ්‍රී ලංකාවේ සමස්ත ගුරු පද්ධතියෙන් 70% ක පිරිසක් උපාධිධාරී නොවන ගුරුවරුන් බව ද, ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25% ක් නුපුහුණු ගුරුවරුන් බව ද සඳහන් කළ අධ්‍යාපන අමාත්‍යවරයා, ලෝකයේ දියුණු අධ්‍යාපනයක් සහිත කිසිදු රටක උපාධිධාරීන් නොවන කිසිදු ගුරුවරයෙක් නොමැති බවත්, 2027 වසර වනවිට මෙරට පාසල් පද්ධතිය තුළ සිටින සියලු ගුරුවරුන් උපාධිධාරීන් බවට පත්කිරීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

මේ සඳහා ලංකාවේ ගුරුවරුන් වැඩිම පිරිසක් පාසල් පද්ධතියට බිහිකරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 ම උපාධි ලබාදෙන ආයතන බවට උසස් කරන බව ද මේ වනවිටත් ඊට අදාළ කැබිනට් තීන්දුව ලබාගෙන ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන්ට අවස්ථාව සලසා දීමේ දී ඉසෙඩ් ලකුණ තීරණය කිරීම දිස්ත්‍රික් පදනමින් සිදුකිරීම නිසා ගම්බද දුෂ්කර පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදුවන බවත්, මේ නිසා ඉදිරියේ දී දිස්ත්‍රික් පදනම වෙනුවට පාසල් පදනමින් ඉසෙඩ් ලකුණ තීරණය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන් ම රටේ අධ්‍යාපනය දෙස ඉසුරුපායේ සිට හෝ, විදුහල්පති සේවයේ සිට හෝ, අධ්‍යාපන පරිපාලන සේවයේ සිට හෝ පළාත් අධ්‍යාපන සේවයේ සිට හෝ බලනු වෙනුවට දරුවන්ගේ ඇසින් බැලිය යුතු බවත්, නීති රෙගුලාසිවලට වඩා දරුවන්ට අවශ්‍ය වන්නේ නිවැරදි මගපෙන්වීම සමඟ ඉදිරියට යාමට ශක්තිය බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 70, 000 ඉක්මවයි

Mohamed Dilsad

රනිල්ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

මනූෂගෙන් දෝස්මුරයක්

Mohamed Dilsad

Leave a Comment