දේශීය

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ගැටලු වලට අමාත්‍යවරියගෙන් විසඳුම්

(UTV | කොළඹ) – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය පියවර ගෙන තිබියදී සංගමය ගත් තීන්දු තීරණ කණගාටුවට කරුණක් බවත් , එය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය ද නැතිවීමට හේතුවූ බව ද සෞඛ්‍ය අමාත්‍යවරිය සඳහන් කරයි.

දිවයින පුරා දැනට උද්ගත වී පවතින කොරෝනා වෛරසය පැතිරීම පාලනය හා මර්දනය කිරීම සදහා ගත යුතු ක්‍රියාදාමයන් පිළිබදව සහ දැනට එම කටයුතුවල යෙදී සිටින වෛද්‍යවරුන් ඇතුලු සෞඛ්‍ය සේවකයින්ට මුහුණ දීමට සිදුව ඇති ගැටලු පිළිබදව සොයාබැලීමට සෞඛ්‍ය අමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුලු සෞඛ්‍ය වෘත්තීය සමිති 20 ක පමණ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විය.

මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සදහා ගෙනයන වැඩපිළිවෙලට සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව කොන්දේසි විරහිතව සහයෝගය ලබාදෙන බව ද වෘත්තීය සමිති නායකයින් පැවැසීය.

නමුත් පසුගිය 01 දා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ කොරෝනා මර්දන මෙහෙයුම් සදහා එක්ව සිටින සිය නිලධාරීන්ට මුහුණපෑමට සිදු වූවා යැයි පැවැසෙන කරුණු 04 ක් මුල්කරගෙන (අවම ආරක්ෂිත පහසුකම් නොසැපයීම, ක්ෂේත්‍ර රාජකාරී සදහා ප්‍රවාහන පහසුකම් නොසැපයීම, ආහාර ඇතුලු මුලික පහසුකම් නොසැපයීම, අත්‍යාවශ්‍ය නෛතික ප්‍රතිපාදන සකස් නොකරමින් නිලධාරීන් අවධානමේ හෙළීම) අවම පහසුකම් හෝ සැපයීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 04 දින සිට එම කටයුතුවලින් ඉවත් වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් එම පහසුකම් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට ඒ් මොහොතේම උපදෙස් ලබාදෙන ලදි. ඒ අනුව එම කටයුතු නිසි පරිදි සූදානම් කරමින් සිටිය දී මෙවැනි අයුරින් හැසිරීම කණගාටුවට කරුණක් බව අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

මේ පිළිබද දැඩි අවධානය යොමු කළ සෞඛ්‍ය අමාත්‍යතුමිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලධාරීන් ඊයේ (02) කොළඹට කැදවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රාත්‍රී 8.00 පමණ විශේෂ සාකච්ඡාවක් කැදවා එම අවස්ථාවේම ඔවුන්ගේ ගැටලුවලට විසදුම් ලබාදීමට කටයුතු කරන ලදි.

සෞඛ්‍ය අමාත්‍යතුමිය විසින් තමා වෙත ලැබී තිබුන පෞද්ගලික පරිත්‍යාගයක් වන දෑත් සේදීම සදහා යොදා ගන්නා විෂබීජ නාශක බෝතල් 4000 ක් ද මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයට ලබාදීමට පියවර ගත් අතර, සෞඛ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදීමට කටයුතු කර තිබිය දී සංගමය ගත් තීන්දු තීරණ ගැන සෞඛ්‍ය අමාත්‍යවරිය වශයෙන් කණගාටුවට පත් වන බවත්, මහජන මතයක් ගොඩනැගීම හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය ගරුත්වය නැතිවීමට හේතුවූ බවයි.

Related posts

කලුතර ප්‍රදේශ රැසකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

රංජන් අධිකරණය හමුවට

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment