(UTV | කොළඹ) – විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කොට සමාජයට පිවිසෙන උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට ඉවහල්වන අයුරින් උසස් අධ්‍යාපන ක්‍රමය සකස් විය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරයි.
ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ප්‍රමුඛ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමග පැවති හමුවකදීයි.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරු, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සෙසු සාමාජිකයෝ සහ විශ්ව විද්‍යාල උපකුලපතිවරු සාකච්ඡාවට එක්ව සිටියහ.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව කුමන අර්ථකථන තිබුණ ද සරසවියෙන් පිටව යන තරුණ තරුණියන්ට රැකියාවක් සොයාගත නොහැකිනම් එය නිවැරදි අධ්‍යාපන ක්‍රමයක් විය නොහැකිය.
උපාධිධාරීන් රැකියා ඉල්ලා පෙළපාලි යනවා වෙනුවට රැකියා ඔවුන් සොයා එන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍ය බවත් , ඉදිරි කාලයේදී විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවගෙන් 30%ක් වත් online හෙවත් මාර්ගගත අධ්‍යාපනයට යොමු කළ යුතු බව එතුමා පවසයි.
පිටරට අධ්‍යාපනය ලබමින් සිටි ශ්‍රී ලාංකික සිසුන් දහස් ගණනක් කොවිඩ් වසංගතය පැතිරයාමත් සමග මෙරටට ගෙන්වා ගැනීමට සිදුවූ බව සිහිපත් කළ ජනාධිපතිතුමා සිසුන් මෙතරම් පිරිසක් විදේශගතවීම යහපත් ලක්ෂණයක් නොවේයයි සඳහන් කළේය.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉලක්ක කොට අඩු වියදම් නව පරිගණක එකලස් කිරීමේ හැකියාව ජනාධිපතිතුමා සරසවි බලධාරීන්ට පෙන්වා දුන්නේය.
උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාලයට පිවිසීමට සුදුසුකම් ලබන සියලුදෙනාට විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමට පෙර නිවසේ සිට ඉංග්‍රීසි සහ පරිගණක අධ්‍යාපනය ලබාදීමට සැලසුම් සකස් කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.
සරසවි වරම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව එතුමා කළ විමසුමකට පිළිතුරු දුන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මෙවර බඳවා ගන්නා පිරිස 7500 කින් වැඩිකර ඇතැයි සඳහන් කළේය.