ව්‍යාපාරික

අන්තර්ජාලය ඔස්සේ මැණික් වෙළඳාමට අවසර ඉල්ලයි

(UTV | කොළඹ) – වසංගත තත්ත්වය හේතුවෙන් මාර්තු මාසයේ සිට මැණික් කර්මාන්තය තවමත් කඩා වැටෙමින් පවතින බවත් ලෝකයේ වෙනත් රටවල් මේ වනවිට ඔන්ලයින් ක්‍රමයට මැණික් ව්‍යාපාර ආරම්භ කර ඇතත් ලංකාවේ තවමත් එවැනි පහසුකම් සලසා නැති බව මැණික් අපනයන ව්‍යාපාරිකයෝ පවසයි.

මැණික් පතල්වල වැඩකරන පිරිස්වල සිට මැණික් අපනයනය කරන ව්‍යාපාරිකයන් දක්වාම මෙම කඩාවැටීමට ලක්ව ඇති බව පවසන ඔවුන් මැණික් නැති තායිලන්තය, සිංගපූරුව, හොංකොං වැනි රටවල් ඔන්ලයින් ක්‍රමයෙන් මැණික් ව්‍යාපාරය සිදුකරමින් ඒ රටවල මැණික් ව්‍යාපාරය යළි ගොඩ ගැනීමේ උත්සාහයක නිතරව සිටින බව ද පැවසූහ.

මැණික් ව්‍යාපාරිකයන්ගේ පතල්කරුවන්ගේ මහා සංගමයේ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා කියා සිටියේ , ලංකාවේ මැණික් අපනයනය මේ වනවිට 90 % කින් ඇදවැටී ඇති බවත් , ලංකාවේ මැණික් ක්‍ෂේත්‍රයෙන් ඝෘජුව යැපෙන පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්‍ෂ 3 ක් පමණ වන බවත්ය.

මේ සම්බන්ධයෙන් වැඩිදුර අදහස් දක්වන ඒ මහතා ,

‘අවුරුද්දකට හය වතාවක් ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශන පැවැත්වුණා. යුරෝපය,ඇමරිකාව, චීනය, හොංකොං වගේ රටවල්වල පැවති මේ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශන වලින් තමයි අපේ රටේ මැණික් සඳහා හොඳ ඉල්ලුමක් වගේම මිළක් ලැබුණේ. ගිය අවුරුද්දේ මාර්තු ඉඳලා මේ වෙනකම් එකම ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් තිබුණේ නෑ. මැණික්වලින් ලැබෙන ආදායමෙන් 60 % ක් මේ ජාත්‍යන්තර ප්‍රදර්ශන වලින් ලැබුණේ. ඒ ආදායම සම්පූර්ණයෙන්ම නැවතිලා.’

‘මේ තියන කොරෝනා ප්‍රවනතාව තවත් අවුරුදු දෙකක් හෝ ඊට වැඩියෙන් තියේවි කියලා විවිධ රටවල සහ දේශීය විශේෂඥයින් කියනවා. ඒ කියන්නේ අපිට කොරෝනා සමග ජීවත් වෙන්න වේවි. එහෙමනම් අපිට මුලින් ම ඔන්ලයින් ක්‍රමයට මැණික් වෙළඳමටත් ඉක්මනින් පිවිසෙන්න වේවි. අපි මේ සම්බන්‍ධයෙන් රජයට කරුණු ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතා ඉක්මනින් ඒ සඳහා අපිට සහනදායි පිළිතුරක් ලැබේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙම වුනොත් මැණික් කර්මාන්තයේ නියැලි සියලු දෙනාටම යම් අස්වැසිල්ලක් වේවි.’ යැයි ද මැණික් ව්‍යාපාරිකයන්ගේ පතල්කරුවන්ගේ මහා සංගමයෙ සභාපති පුන්සිරි තෙන්නකෝන් මහතා පැවසුවේය.

 

Related posts

නොරෝච්චෝලෙන් යලි විදුලිය

Mohamed Dilsad

ලබන සතියේ සිට මෙරට පොල්ගස් කැපීම තහනම් කරමින් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

ප්‍රමිතියෙන් තොර දඟර කම්බි සොයා වැටලීම් අරඹයි

Mohamed Dilsad

Leave a Comment