Trending Newsදේශීය

බුද්ධි අංශ අනාවරණයකින් පසු තමිල්නාඩු ආරක්ෂාව තර කරයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ කණ්ඩායමක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට එරට බුද්ධි අංශවලට අනාවරණයවීමත් සමග තමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්ත පොලීසිය සහ එරට මධ්‍යම බුද්ධි අංශය මේ සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුළුවීමට උත්සාහ දරන බවට තොරතුරු ලැබී ඇති බව ඉන්දීය මධ්‍යම බුද්ධි අංශය විසින් පසුගිය සෙනසුරාදා පස්වරුවේ අනතුරු ඇඟවීමක් සිදුකර තිබුණි.

ඒ අනුව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ කන්‍යාකුමාරි, තූත්තුකුඩි, රාමේෂ්වරම් සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවය.

බුද්ධි අංශ ආරංචි මාර්ගවලට අනුව ආයුධ සන්නද්ධ පිරිසක් රැගත් බෝට්ටුවක් රාමේෂ්වරම් වෙරළ දෙසට ගමන් කර ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

කෙසේවෙතත් මෙම පුද්ගලයින්ගේ අනන්‍යතාවය හෝ සංවිධානය කුමක්ද යන්න තහවුරු වී නොමැති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

වෙරළබඩ ප්‍රදේශකරා ගමන් කරන සියලුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර තමිල්නාඩු වෙරළ තීරයට ළගාවීමට දරණ ඕනෑම උත්සහයක් වළක්වා ගැනීම සඳහා වෙරළ ආරක්ෂක මුර සේවය ද ඉහළ දමා ඇති බව සඳහන්ය.

මේ අතර මීට දින කිහිපයකට පෙර නීතිවිරෝධී ලෙස කර්ණාටකයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 38 දෙනෙකු තමිල්නාඩු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම පිරිස ශ්‍රී ලංකාවේ සිට බෝට්ටු මාර්ගයෙන් ඉන්දියාවට පැමිණ ඇති අතර කැනඩාවට සංක්‍රමණයවීම සඳහා සූදානමෙන් සිට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

පසුගිය මාර්තු 17 වන දින සිට මොවුන් වරින්වර තමිල්නාඩුවට පැමිණ ඇති අතර කැනඩාවට යෑම සඳහා එක් පුද්ගලයෙකු රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබා දී ඇති බවද අනාවරණය වී තිබේ.

මොවුන් කර්ණාටක ප්‍රාන්තයේ මංගලූර් ප්‍රදේශයේ නිවාස සහ ලැගුම්හල්වල සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

Related posts

Inoka Sathyangani re-appointed as Rupavahini Corporation Chairman

Mohamed Dilsad

Swiss embassy staffer returns to CID for third day

Mohamed Dilsad

Anti-Government protests sweep Algeria

Mohamed Dilsad

Leave a Comment