කලා

උතුරු සුළඟ – ළඟදීම සිනමාහලට

කොරෝනා වසංගතය ව්‍යාප්ත වීම හේතුවෙන් සිනමාහල් තාවකාලිකව වසා දැමීම නැවත වරක් සිදුවුනා. තිරගත වෙමින් තිබූ වගේම තිරගත වෙන්න ආසන්න වූ චිත්‍රපට බොහොමයකට මේ තත්වය නිසා ලොකු බලපෑමක් සිදුවුනා. කොහොම නමුත් පසුගියදා නැවත වරක් සිනමාහල් විවෘත කිරීමට රජය තීරණය කළා. කොහොම වුනත් ප්‍රේක්ෂකයින්ගේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන සැළකිලිමත් වන ලෙස දන්වමින් අනුගමනය කළ යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවකුත් නිකුත් කොට තිබෙනවා. මේ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව විවෘත වන චිත්‍රපට ශාලා වල තිරගත වන අලුත්ම චිත්‍රපට මොනවද..?

ළඟදීම තිරගත වෙන්න නියමිත චිත්‍රපට අතර චාමර ජනරාජ් පීරිස් අධ්‍යක්ෂණය කළ “උතුරු සුළඟ” චිත්‍රපටයත් තිබෙනවා. අප්‍රේල් මාසයේ අග තිරගත වීමට නියමිතව තිබුනත්, මේ චිත්‍රපටයත් කල් දමන්න සිදුවූයේ කොවිඩ් ව්‍යාප්තියේ වර්ධනයත් එක්කමයි. කොහොම වුනත් ළඟදීම ප්‍රේක්ෂකයින්ට මේ චිත්‍රපටය නැරඹීමට හැකිවන බව පැවසෙනවා.

චාමර ජනරාජ් කියන්නේ ටෙලිවිෂන් ක්ෂේත්‍රයේ අමතක නොවන නිර්මාණ කිහිපයක්ම කළ අධ්‍යක්ෂවරයෙක්. ඔහු විසින්ම තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන ඔහුගේ පළමු චිත්‍රපටය වන “උතුරු සුළඟ”ට එම්.එච්.එම්. ඝානි, කපිල නවරත්න සහ රසිත ජිනසේන නිෂ්පාදනයෙන් චාමර ජනරාජ් සමග එකතු වී තිබෙනවා. එරංග ජීවන්ත සමග කාවින්ද්‍යා දුල්ශානි ප්‍රධාන චරිත නිරූපණය කරන චිත්‍රපටයට ශ්‍රියන්ත මෙන්ඩිස්, දිල්හානි ඒකනායක, සනත් ගුණතිලක, මීනා කුමාරි, කසුනි කාවින්දි, රෝහණ බැද්දගේ, මොරින් චාරුණි, ලක්ෂිත ප්‍රභාත් පතිරාජ, සුලක්ඛනා හේරත්, නදීශානි පේලිආරච්චි ඇතුළු රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් දායක වනවා. බිමල් ජයකොඩි සහ සුජානි මේනකා චිත්‍රපටය ගරු රඟපෑමකින් එක්ව සිටිනවා.

අපූරු ගැමි පරිසරයක වැඩි ප්‍රමාණයක් රූගත කොට තිබෙන චිත්‍රපටයේ කතා තේමාව යුද්ධය හේතුවෙන් මතකය අහිමිවී අවතැන්ව සිටින ගුවන් නියමුවකුගේ චරිතයක් වටා ගොඩනැගී තිබෙනවා. දේශීය චිත්‍රපට නැරඹීමට උනන්දුවක් දක්වන රසිකයින්ට ළඟදීම “උතුරු සුළඟ” සිනමාහලේදී නැරඹීමට අවස්ථාව උදාවනු ඇති.

Related posts

විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව වේගවත්ම මෝටර් රථය එළිදැකි.

Mohamed Dilsad

ටින් ටින් ඉහළ අගයකට අලෙවි වෙයි

Mohamed Dilsad

‘බෑඩ් බෝයිස් ෆෝ ලයිෆ්’ නවතම කතාංගය ජනවාරි 17 වනදා

Mohamed Dilsad

Leave a Comment