විදෙස්

ඇෆ්ගනිස්ථානයේ තත්ත්වයට බයිඩන්ගෙන් ප්‍රතිචාර

අමෙරිකානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්කරගැනීමට තමන් ගත් තීරණය නිවැරැදි සහ කාලෝචිත බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඇෆ්ගනිස්ථානයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්වයන්ගෙන් එල්ලවන චෝදනාවන්ට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේය.

කාබුල් අගනුවර ඇතුළු ඇෆ්ගනිස්ථානයේ සමස්ත පාලනය තලෙයිබාන් ත්‍රස්තයින් අතට පත්වීමේ දිනකට පසු ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පියවර ගත්තේය.

ඒ ඊයේ (16) රාත්‍රියේ ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමෙනි.

එහිදී ඇෆ්ගනිස්ථානයෙන් අමෙරිකානු හමුදා ඉවත්කරගැනීමට තමන් ගත් තීන්දුව සාධාරණීකරණය කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළේය.

එහිදී ඔහු අවධාරණය කළේ අමෙරිකාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කළේ ත්‍රස්තවාදයට එරෙහිව පියවර ගැනීමට පමණක් බවය.

එසේ නොමැතිව එරට රාජ්‍ය පාලනයක් පිහිටුවීම තම උත්සාහය හෝ වගකීම නොවූ බවත් ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

නොසිතූ තරම් කෙටි කාලයකින් ඇෆ්ගනිස්ථානයේ බලය තලෙයිබාන් ත්‍රස්තයින් අතට පත්වූ බවත් එහි වගකීම ඇෆ්ගන් පාලනය බාරගත යුතු බවත් බයිඩ්න් මෙහිදී පෙන්වාදුන්නේය.

මේ අතර ජනාධිපතිවරයා අවධාරණය කළේ යම් හෙයකින් ගුවන්තොටුපොළ රැඳී සිටින තම හමුදා වෙත තලෙයිබාන් ප්‍රහාර එල්ලවුවහොත් එහි අනිසි ඵලවිපාක විඳීමට සිදුවනු ඇති බවය.

තලෙයිබාන් පාලනය ස්ථාපනය වීමත් සමඟ රටින් පිටවීයාමට උත්සාහ කරන ඇෆ්ගන් වැසියන් එරට කාබුල් ගුවන්තොටුපොළ රැස්ව සිටින්නේ පසුගිය සති අන්තයේ සිටය.

එහි පවතින තදබදය සහ නොසන්සුන් තත්ත්වය නිසා ගුවන්තොටුපොළ ගුවන්ගමන් නැවැත්වීමට අමෙරිකානු බලධාරීන් පියවර ගත්තේය.

ගුවන්තොටුපොළ තදබදය අතරතුර මියගිය පිරිස 5ක් වන බව සඳහන්ය.

මේ අතර වීසා නොමැතිව රටින් පිටවීමට හැකි බවට කටකතා පැතිරයාම නිසා ගුවන්තොටුපළ අසළට පවුල් පිටින් රැස්ව සිටින ජනතාව විසුරුවාහැරීමට තලෙයිබාන් ත්‍රස්තයින් පියවර ගත්තේය.

එහිදීද ජනතාව ඉලක්ක කරගෙන වෙඩිතැබීම් සිදුවූ බව වාර්තා වේ.

මේ අතර හිටපු ඇෆ්ගන් ජනාධිපති අෂර්ෆ් ඝානිගේ පළායාම සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය ප්‍රකාශයක් නිකුත් කර තිබුණි.

එහි දැක්වුණේ මෝටර් රථ 4ක් සහ සුවිසල් ධනස්කන්ධයක්ද සමඟින් හොලිකොප්ටර් යානාවක් ද යොදාගෙන ජනාධිපතිවරයා රටින් පිටව ගිය බවය.

මෙහිදී ඔහු කෙතරම් මුදල් තොගයක් රැගෙන ගියේද යත්, හෙලිකොප්ටර් යානාවේ ඉඩකඩ නොමැතිවීම නිසා ඇතැම් මුදල් තොග අත්හැරයාමට සිදුව තිබූ බවද රුසියානු වාර්තාවේ දැක්විය.

කෙසේ වෙතත් ඇෆ්ගන් හිටපු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබුණේ රුධිරය වැගිරීම වැළැක්වීම සඳහා තමන් රටින් පළාගිය බවය.

Related posts

කොරෝනාවට ඖෂධයක් සෙවීමේදී චීනය ජාත්‍යන්තර සහය පතයි

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථාන යුද්ධයේ ප්‍රතිඵලය ගැන පකිස්ථානයට දොස් නොකියන්න – ඉම්රාන් ඛාන්

Mohamed Dilsad

කැලිෆෝනියා ලැව් ගින්න තවත් ව්‍යාප්ත වෙයි

Mohamed Dilsad

Leave a Comment