විදෙස්

අමෙරිකාවේ පූර්ණ අනුමැතිය හිමිවූ කොවිඩ් මර්දන එන්නත

(UTV | අමෙරිකාව) – අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරියේ පූර්ණ අනුමැතිය හිමිවූ පළමු කොවිඩ් මර්දන එන්නත බවට ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත පත්වී තිබේ.

ෆයිසර් බයෝඑන්ටෙක් කොවිඩ් මර්දන එන්නතට අමෙරිකානු ආහාර හා ඖෂධ පාලන අධිකාරිය ඊයේ පූර්ණ අනුමැතිය ලබාදී තිබුණි.

ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවූ සියලුම පුද්ගලයන් සඳහා මේ එන්නත ලබාදීමට හැකියාව පවතින බව වාර්තා වේ.

ඉකුත් දෙසැම්බර් මැද භාගයේදී ෆයිසර් එන්නත අමෙරිකාවේ වයස අවුරුදු 16ට වැඩි අයට හදිසි භාවිතය සඳහා එරට ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අනුමැතිය ලබාදුනි.

පසුව එම වයස් සීමාව අවුරුදු 12 තෙක් පහළ දැමීය.

කෙසේවෙතත් අවුරුදු 12ත් 15ත් අතර අයට මේ එන්නත ලබාදීම සඳහා පූර්ණ අනුමැතිය තවමත් හිමිවී නොමැත.

ඩෙල්ටා ප්‍රභේදය නිසා ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ ගිය චීනයෙන් ඊයේ දිනය තුළදී දේශීයව වෛරස සම්ප්‍රේශණය වූ කිසිදු ආසාදිතයෙක් හඳුනාගෙන නොමැත.

ජූලි මාසයෙන් පසු චීනයේ ආසාදිතයන් ශුන්‍ය වූ පළමු අවස්ථාව මෙයවෙයි.

ඊයේ එරටින් නව ආසාදිතයන් 21 දෙනෙක් හඳුනාගත් අතර ඔවුන් සියලුදෙනාම විදේශන්හි සිට පැමිණි පුද්ගලයන්ය.

බීජිං අගනුවර අවසන් මධ්‍ය අවදානම් කලාපයද අඩු අවදානම් කලාපයක් බවට පත්කර තිබේ.

ඒ අනුව බීජිං හි කොවිඩ් අධි හෝ මධ්‍ය අවදානම් කලාප කිසිවක් නොමැති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

ඩෙල්ටා ප්‍රභේදය පාලනය කළ ලොව පළමු රට බවට චීනයේ පත්වීමේ වැඩි ඉඩක් පවතින බවත් එම වාර්තා වැඩිදුරටත් සඳහන් පවසයි.

වියට්නාමයේ හෝ චින් මින් නගරයට පනවා ඇති දැඩි සංචරණ සීමා බලාත්මක කිරීම සඳහා හමුදා සෙබළුන් අනුයුක්ත කර තිබේ.

හෝ චින් මින් නගරයට පනවා තිබූ සංචරණ සීමා තවදුරටත් දැඩි කිරීමට ඊයේ පියවර ගත්තේ වසංගතය ව්‍යාප්තිය තුළ දරුණුතම අවදියට මුහුණදී සිටීම හේතුවෙනි.

එම නගරයට ඉහළම මට්ටමේ සංචරණ සීමා පැනවූ පළමු අවස්ථාව මෙය වන අතර ඒ යටතේ ආහාර මිලදී ගැනීමට හෝ ජනතාවට නිවෙස්වලින් පිටතට යෑමට හැකියාවක් නොමැත.

ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදීගැනීම් කටයුතු සඳහාද හමුදාව සහාය වනු ඇත.

හමුදා සෙබළුන් නගරවාසීන් වෙත ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ නිරතව සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

වියට්නාමයෙන් වාර්තා වන 358,000ක් වූ සමස්ත ආසාදිතයන්ගෙන් අඩක් පමණ වාර්තා වන්නේද හෝ චින් මින් නගරයෙනි.

ඉකුත් වසර තුළ වෛරස ව්‍යාප්තිය හොඳින් පාලනය කර සිටි වියට්නාමය මේ වසරේ අප්‍රේල් අග භාගයේ සිට ශීඝ්‍ර වෛරස ව්‍යාප්තියකට මුහුණදී සිටින්නේ ආක්‍රමණශීලී ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙනි.

ගෝලීය කොවිඩ් වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මේ වනවිට 21 කෝටි 32 ලක්ෂය ඉක්මවා තිබේ.

වසංගතයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව 44 ලක්ෂ 52 දහසකට අධිකය.

Related posts

යුරෝපා කලාපයේ කොරෝනා ව්‍යාප්තිය ඉහළට

Mohamed Dilsad

පිලිපීන භූකම්පනයෙන් ජීවිත හානි

Mohamed Dilsad

ජපන් සමාගම් රැසක් චීනය හැරයයි

Mohamed Dilsad

Leave a Comment