ව්‍යාපාරික

පාකිස්ථානය – ශ්‍රී ලංකා පෞද්ගලික අංශය වෙළඳාම, ආයෝජන ඉහළ නැංවීම සඳහා සහයෝගීතාව වැඩි කරයි

(UTV | කොළඹ) – කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය 2021 නොවැම්බර් 23 වන දින 33 වන රාවල්පින්ඩි ව්‍යාපාර සහ කර්මාන්ත ජාත්‍යන්තර ජයග්‍රහණ සම්මාන සහ පාකිස්ථාන-ශ්‍රී ලංකා ව්‍යාපාරික අවස්ථා සමුළුව පකිස්ථානයේ තුන්වන විශාලතම කර්මාන්ත මණ්ඩලය වන රාවල්පින්ඩි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සමඟ එක්ව පවත්වන ලදී.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර පාකිස්ථානයේ ප්‍රමුඛ ව්‍යවසායකයින්ට සම්මාන ප්‍රදානය කළේය.

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් මහතාගේ පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාව සංචාරයෙන් දෙරට අතර ඇති සහයෝගය සහ සුහදතාවය පිළිබිඹු වන බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. වෙළෙඳ හා ආයෝජන, සංස්කෘතිය, විද්‍යා හා තාක්ෂණ, ආරක්‍ෂක ආදී විවිධ ක්ෂේත්‍රවල මිත්‍ර රටවල් දෙක අතර දීර්ඝ කාලීන සහයෝගීතාව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ සංචාරයෙන් තවදුරටත් තහවුරු වන බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පකිස්ථානයේ විවිධ ප්‍රදේශවල සුරක්ෂිතව පවතින සුවිශාල සහ පොහොසත් බෞද්ධ උරුමයන් මගින් තවදුරටත් දෙරට මිත්‍රත්වය ශක්තිමත් වන බව මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ බෞද්ධ, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සමඟ එක්ව පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය විසින් මෙම මස මුලදී එළි දක්වන ලද ‘ගන්ධාර: පකිස්ථානයේ බෞද්ධ උරුමය’ නම් වූ නවීන වාර්තා චිත්‍රපටය පිළිබඳව ද ගරු අග්‍රාමාත්‍යතුමා මෙහිදී අදහස් දැක්වීය.

පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව, 2021 පෙබරවාරි 24 වන දින පාකිස්ථාන-ශ්‍රී ලංකා වෙළඳ හා ආයෝජන සමුළුවෙන් අනතුරුව, කොළඹ පිහිටි පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය පාකිස්ථාන ව්‍යාපාරිකයින් 100 දෙනෙකු රාවල්පින්ඩි සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සංවිධානය කරන ලදී.

වාණිජ කටයුතු අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයා වූ අතර ප්‍රාදේශීය සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ගෞරවනීය ආරාධිතයා ලෙස සහභාගී වූහ.

උත්සවය ඇමතූ ගරු වාණිජ අමාත්‍යවරයා , ද්විපාර්ශ්වික වෙළෙඳාම, ආයෝජන සහ ආර්ථික සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා පාකිස්ථානයේ මුලපිරීම අගය කළ අතර දෙරට අතර පවතින දිගුකාලීන සබඳතා පෙන්වා දුන්නේය.

තවද, ද්විපාර්ශ්වික වෙළඳාම පුළුල් කිරීම සඳහා දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුම සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇති බවත්, කෙසේ වෙතත්, නිදහස් වෙළඳ ගිවිසුමේ පූර්ණ හැකියාවන් සහතික කිරීම සඳහා තවදුරටත් උත්සාහයන් අවශ්‍ය බවත් ගරු වාණිජ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පාකිස්තානයේ ශ්‍රී ලංකා නිෂ්පාදන අපනයනය වැඩි දියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සන්නාම සහ නිෂ්පාදන තවදුරටත් දියුණු කිරීමට උත්සාහ දරන බවද ඔහු පෙන්වා දුන්නේය.

උත්සවය අමතමින් වැඩබලන පාකිස්තාන මහ කොමසාරිස් තන්වීර් අහමඩ් මහතා පෙන්වා දුන්නේ පාකිස්ථානය සමඟ නිදහස් වෙළඳ ගිවිසුමක් (FTA) අත්සන් කළ පළමු රට වීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවන බවත් පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට අනුකූලව ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, හවුල් ව්‍යාපාර සහ වෙළඳ සහ ආයෝජන ඉහළ විභව ක්ෂේත්‍රවල ආර්ථික සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ද ඔහු අවධාරණය කළේය. ශ්‍රී ලංකාව සමඟ ඉහළ මට්ටමේ වෙළඳාමක් සිදුකිරීමට පාකිස්තාන රජය කැපවී සිටින බවද ඔහු පැවසීය.

වෙළඳ ලේකම් අස්මා කමල් මහත්මිය ද්විපාර්ශ්වික වෙළඳාම සඳහා විභව ක්ෂේත්‍ර, අභියෝග සහ ඉදිරි මාර්ග පිළිබඳව සවිස්තරාත්මකව පැහැදිලි කළ අතර, අනාගතයේදී මෙවැනි සමුළුවේ වැදගත්කම ඉස්මතු කරමින් සමුළුවේ අරමුණ සහ නාමාවලි පිළිබඳව අදහස් දැක්වූවාය.

කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ වෙළෙඳ හා ආයෝජන අංශය, ශ්‍රී ලංකාවේ ආයෝජකයින්, ආනයනකරුවන්, අපනයනකරුවන් සහ පාකිස්තාන ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡාවක්ද සංවිධානය කළේය.

පාකිස්ථානයේ රාවල්පිණ්ඩි වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ලංකා වාණිජ මණ්ඩලය (CCC) සහ ශ්‍රී ලංකා වෙළඳ හා කර්මාන්ත සම්මේලනය (FCCISL) අතර අවබෝධතා ගිවිසුම් දෙකක් අත්සන් කරන ලදී. තවද, ඖෂධ, මෝටර් රථ සහ අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් පාකිස්තාන සහ ශ්‍රී ලංකා පෞද්ගලික සමාගම් අතර අවබෝධතා ගිවිසුම් නවයකට අත්සන් කරන ලදී.

මෙම සමුළුව ශ්‍රී ලංකාවේ පවතින කොවිඩ් 19 රෙගුලාසිවලට අනුකූලව පැවැත්විණි.

Related posts

දුම්රිය ආසන වෙන් කිරීමේ කටයුතු අද සිට Online ක්‍රමයට

Mohamed Dilsad

රුපියල ශක්තිමත් වෙයි

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්

Mohamed Dilsad

Leave a Comment