දේශීය

මිත්‍යාදෘෂ්ටිය හේතුවෙන් කුඩා දරුවෙකු මියයයි

(UTV | කොළඹ) – සෙම සිරවී සිටි අවුරුදු 10 ක දරුවෙකුගේ අසනීපය සුව කර ගැනීම සඳහා යාඥා කළ මෙන්ම පසුව දරුවා මිය යෑමෙන් පසුව ඔහුගේ ප්‍රාණය ලබා ගැනීම සඳහා යාඥා කළ එම දරුවාගේ මව, පියා හා මිත්තණිය අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.

බඩල්ගම පොලිස් වසමේදී මෙම ඛේදජනක සිදුවීම වාර්තා වන අතර පසුගිය 07 දා මෙම පිරිමි දරුවාගේ උගුරේ සෙම සිරවී ඇති අතර වෛද්‍ය උපදෙස් ලබාගැනීමකින් තොරව මව්පියන් විසින් තමන් අදහන ආගම අනුව දරුවා සුව කර ගැනීම වෙනුවෙන් යාඥා කර තිබේ.

කෙසේ වෙතත් පසුව දරුවා මියගොස් ඇති අතර ඉන් පසු දරුවාගේ ප්‍රාණය ලබා ගැනිම වෙනුවෙන්ද යාඥා කර තිබේ. අදාළ නිවසින් සැක සහිත දුර්ගන්ධයක් හමන බවට පොලීසියට ලැබුණ තොරතුරක් අනුව පොලීසිය නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක ඇඳක් මත මියගොස් සිටි දරුවා සොයාගෙන තිබේ.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, “බඩල්ගම පොලිස් වසමේ ආඩිමුල්ල ප්‍රදේශයේ නිවසකින් සැක සහිත දුර්ගන්ධයක් හමන බවට ඊයේ (09දා) පොලිස් ස්ථානයට තොරතුරක් ලැබී තිබුණා. මේ පිළිබඳව පොලිස් නිලධාරීන් විසින් විමර්ශන ආරම්භ කිරීමේදී එම නිවසේ කාමරයක් තුළ ඇඳමක් මත වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවෙක් මියගොස් සිටින බවට තොරතුරු අණාවරණය වුණා.

මෙම දරුවා පසුගිය 07 දා උදෑසන උගුරේ සෙම සිරවීමක් නිසා අසනීප වී තබෙනවා. එම අසනීපය සුව කර ගැනීම සඳහා ඔහුගේ දෙමාපියන් විසින් ඔවුන් විශ්වාස කරන ආගමට අනුව යාඥා කිරීම් සිදුකර තිබෙනවා.

එම යාඥා කිරීම් කරන අතරතුර දරුවා මියගොස් ඇති බවට වාර්තා වෙනවා. තවදුරටත් මෙම දරුවාගේ ප්‍රාණය ලබාගැනීම සඳහා දරුවාගේ දෙමාපියන් විසින් නොකඩවා සිදුකර තිබෙනවා.

කිසිම අවස්ථාවක දරුවා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකිරීමට කටයුතු කර නෑ. ඒ අනුව එම දරුවාගේ මමත්, පියාත්, මිත්තණියත් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම සිදුවීම සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

වැඩිදුර විමර්ශන බඩල්ගම පොලිස් ස්ථානය මගින් සිදුකර තිබෙනවා. දෙමාපියන්ගෙන් අපි ඉල්ලා සිටින්නේ මෙවැනි ආකාරයේ නොසැලකිලිමත් ක්‍රියා නිසා දරුවන් වින්දිතයන් බවට පත්නොකළ යුතුයි.මේ ආකාරයෙන් නොසැළකිමත්ව කටයුතු කරන දෙමාපියන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව විශේෂයෙන්ම සඳහන් කළ යුතු වෙනවා.” යැයි පැවැසීය.

Related posts

කොරෝනා එන්නත් ලක්ෂ 5 ක් අද දිවයිනට

Mohamed Dilsad

සංචරණ සීමා ගැටලු නිරාකරණයට ඇමතුම් මධ්‍යස්ථාන

Mohamed Dilsad

සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද අයදුම් කිරීමට තවත් කාලයක්

Mohamed Dilsad

Leave a Comment