දේශීය

පොදු ප්‍රවාහනයට බාධා එල්ල කරනු ලබන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

(UTV | කොළඹ) – පොදු ප්‍රවාහනයට බාධා එල්ල කරනු ලබන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්ධන මිල වැඩි වීමට එරෙහි විරෝධය උද්ඝෝෂණ කර පෙන්වීම අවශ්‍ය නොවන බවත් ප්‍රවාහන සහ කර්මාන්ත ඇමති දිලුම් අමුණුගම පැවසීය.

පෙරේදා (අප්‍රේල් 18) ඉන්ධන මිල ඉහළ යාම ත් සමග ප්‍රවාහන කටයුතුවලට සම්බන්ධ බොහෝ පුද්ගලයන් විශාල වශයෙන් මාර්ග හරස් කරමින් උද්ඝෝෂණ කරන බව ත් ගාස්තු වැඩි කිරීමකින් තොරව අවශ්‍ය සහන ලබා දීමට ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කරන බව ත් හෙතෙම කීය.

කර්මාන්ත අමාත්‍යංශයේදී ඊයේ (අප්‍රේල් 19) නව ඇමති ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇමතිවරයා මෙසේ ද පැවසීය.

“පෙරේදා රාත්‍රියේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල වැඩි කිරීමත් සමග පොදු ප්‍රවාහන කටයුතු ඇතුළු ප්‍රවාහන ක්ෂේත්‍රය ම අර්බුදකාරී තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. මේ වෙනකොට ත් රටේ යම් යම් ස්ථානවල පෞද්ගලික බස් රථ හිමියන් සහ මහජනතාව ත් නොසන්සුන්තාවට පත් වෙලා තිබෙනවා.

විශේෂයෙන් ම රටේ සමහර ස්ථානවල පෞද්ගලික බස් රථ හිමියන් සහ සේවකයන් විසින් ලංගම බස් රථ ධාවනයට බාධා පැමිණවීම ත් ඒ අයගේ බස් රථ යොදා මහාමාර්ග හරස් කිරීම් කරන බව අපිට වාර්තා වෙලා තිබෙනවා. ඒ අයගෙන් ඉල්ලීමක් කරනවා එහෙම කරන්න එපා කියලා. මොකද පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කළ යුතු යි.

තෙල් මිල වැඩි වීම පිළිබඳ ඊයේ පෞද්ගලික බස් රථ හිමියන් සමග සාකච්ඡාවක් කළා. එහි ප්‍රතිඵල අනුව කිසියම් විසඳුමක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. පෙරේදා වැඩි වුණු තෙල් මිලට අනුව විරෝධතාවලට යන්න ඔවුන්ට කිසිම අවශ්‍යතාවක් නෑ. මෙතෙක් ඉන්ධන වැඩි වූ මිලට සාපේක්ෂව පොදු ප්‍රවාහනයේ සේවා ගාස්තු සංශෝධනයන් සිදු කරලා ඔවුන්ට යම් සහනයක් දීලා තිබෙනවා.

මේ අවස්ථාවේදී ත් අපිට ඉතා ම පැහැදිලියි සැලකිය යුතු මට්ටමකින් ඉන්ධන මිල ඉහළ ගිහිල්ලා තිබෙන බව. පරණ ගාස්තුවලට ධාවනය කරන්න බෑ කියලා පැහැදිලියි. ඒක කාටවත් උද්ඝෝෂණය කරලා පෙන්නන්න ඕන කාරණාවක් නෙවෙයි.

සියලු දෙනාගෙන් ඉල්ලනවා බස් රථ ධාවනය කරන්න අකමැති කවුරු හරි ඉන්නව නම් ධාවනය නොකළාට කමක් නෑ. නමුත් අනිවාර්යයෙන් ම ලංගම බස් රථ ධාවනය කළ යුතු යි. ධාවනය කෙරෙන බස් රථවලට බාධා කෙරුවහොත් ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියලා මේ වෙනකොටත් අපි පොලිස්පතිවරයාට දැනුම් දීලා තිබෙනවා.

යම් යම් මිල වැඩි කිරීම්, සංශෝධන වීම් සිදුකරනවා. නමුත් සාමාන්‍ය ජන ජීවිතයට බාධා කිරීම මේකට විසඳුමක් නෙවෙයි. ඉන්ධන පිළිබඳ ඇමතිවරයා මේ වැඩි කිරීම ගැන අද ප්‍රකාශයක් කරාවි.

ප්‍රවාහන ඇමති හැටියට මම සියලු දෙනාගෙන් ම ඉල්ලනවා විශේෂයෙන් ම පෞද්ගලික බස් රථ හිමියන්ගෙන්. එම ව්‍යාපාරය ගැන අපි හැමවිට ම සානුකම්පිතව බලලා පුළුවන් තරම් එයාලගේ පැත්තෙන් හිතලා තමයි කටයුතු කරලා තිබෙන්නේ. පෞද්ගලික බස් ව්‍යාපාරය කඩාගෙන වැටෙන්න දෙන්නෙ නෑ කියන තැන තමයි අපි ඉන්නේ.

ඊයේ තෙල් මිල වැඩි වුණා ම අද වෙනකොට නව ගාස්තු හදන්න බෑ. එහෙම කරන සිරිතක් තිබිලා නෑ. ගාස්තුව වැඩි කරනවා වෙනුවට ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යංශය සමග යම් සහනාධාරයක් පොදු ප්‍රවාහනය සඳහා ලබා දෙන්න පුළුවන් ද කියලා සාකච්ඡා කරනවා.

දුම්රිය ධාවනයට ත් බාධා එල්ල වෙලා කියලා පැමිණිලි එනවා. ඒක ධාවනය කරන්නේ රජයේ වියදමින්. දුම්රිය ගාස්තු වැඩි කරලත් නෑ. එහෙම තත්ත්වයකදී දුම්රිය ගමනට බාධා කරන්න කාටවත් අයිතියක් නෑ. ඒ අයට විරුද්ධව අදාළ පොලිස් නිලධාරීන් කටයුතු කරනවා.

රටේ ඇතිවන ප්‍රශ්න මත රට අරාජික කරන්න යම් යම් කණ්ඩායම් කටයුතු කළොත් ඒකට පියවර ගන්නවා. ඒක කනගාටුවෙන් වුණත් කියන්න සිද්ධ වෙනවා.

මේ තත්ත්වය යටතේ ලංගම බස්වලට ත් දුවන්න වෙන්නේ පාඩු පිට යි.”

Related posts

ඊයේ රෝගීන් සියලු දෙනා විදේශ සිට පැමිණි අයයි

Mohamed Dilsad

කොට්ටාවේත් ආසාදිතයින් සිව් දෙනෙක්

Mohamed Dilsad

27කට මරු කැඳවූ වැලිකඩ බන්ධනාගාර සිද්ධියේ තීන්දුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment