(UTV | කොළඹ) – කොවිඩ් වසංගතය මෙන් ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් නිර්මාණය කරන ලද ගෝලීය ආර්ථික අස්ථාවරත්වයේ අහිතකර ප්‍රතිවිපාක වන ආහාර, ඉන්ධන සහ පොහොර මිල අධික ලෙස ඉහළ නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පෙන්වා දෙයි.
ගෝලීය දේශපාලන ප්‍රවණතා එම ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කළේ පිලිපීනයේ, මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේදී ඊයේ(29) පෙරවරුවේ පැවැත්වුණු ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ ප්‍රධාන සැසිය අමතමිනි.
එහි මුලසුන ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හොඹවනු ලැබීය.
පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස්, කණිෂ්ඨ (Ferdinand R.Marcos, Jr.) සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවාගේ (Masatsugu Asakawa) සහභාගිත්වයෙන් පැවැත්වුණු මෙම රැස්වීමට සාමාජික රටවල මහ බැංකු අධිපතිවරු එක්ව සිටියහ.
ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීම සැප්තැම්බර් 26 වන දා ආසියනු සංවර්ධන බැංකු මුලස්ථානයේදී ආරම්භ කෙරුණු අතර එය සැප්තැම්බර් 30 වන දා දක්වා පැවැත්වෙයි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.
“ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ 55 වන වාර්ෂික රැස්වීමේ සභාපතිවරයා ලෙස අද ඔබ ඇමතීමට ලැබීම මගේ භාග්‍යයක්. අද, ආසියානු සංවර්ධන බැංකුවෙහි සාමාජික රටවල්, වසර තුනකට පසු, ආසියානු සංවර්ධන බැංකුවේ අධිපතිවරුන්ගේ වාර්ෂික රැස්වීමේ දෙවන අදියර සඳහා මෙම ක්‍රියාශීලී නගරය වන මැනිලාහිදී, රැස්වී සිටිනවා.
පළමුවෙන් ම, මෙම ගෞරවනීය උත්සවය සංවිධානය කිරීම පිළිබඳව ආසියානු සංවර්ධන බැංකුවට (ADB) සහ පිලිපීන රජයට මගේ අවංක කෘතඥතාව පළ කරනවා. ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී සිටින පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, වාර්ෂික රැස්වීමේ දෙවන අදියර කොළඹදී පැවැත්වීමේ අවස්ථාව අපට මගහැරී ගියා. කෙසේ වෙතත්, නුදුරු අනාගතයේදී ඔබ සැම කොළඹට පිළිගැනීමට අපි නොඉවසිල්ලෙන් බලා සිටිනවා.
ආසියානු සංවර්ධන බැංකුව ඉතා ධනාත්මක බලපෑමක් ඇති කර ඇති අතර, එය මුළු කලාපයට ම ගැඹුරින් දැනෙනවා. 2021 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව සාමාජික රටවලට ඩොලර් බිලියන 22.8ක් ලබා දී ඇති අතර, තව ත් අනෙකුත් ප්‍රභවයන් සමග හවුල්කාරිත්වය හරහා සම-මූල්‍යකරණය සඳහා අතිරේක ඩොලර් බිලියන 12.9ක් ලබා දී තිබෙනවා.
ආසියානු සංවර්ධන බැංකුවෙහි “උපායමාර්ගය 2030” මගින් දේශගුණික විපර්යාස සහ ස්වාභාවික විපත්, ආහාර සහ බලශක්ති අනාරක්ෂිතභාවය ඇතුළු ගෝලීය අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දරන අතරම ඩිජිටල් ආර්ථිකයේ අවස්ථා වැළඳ ගැනීම, තිරසාර බලශක්තිය සහ අධ්‍යාපනය සහ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා තාක්ෂණය උපයෝගි කර ගැනීමට උත්තේජනය කරයි.
මේ අනුව, ආසියා සහ පැසිෆික් කලාපය පුරා සිටින ජනතාවගේ ජීවිත සහ ජීවනෝපායන් වැඩිදියුණු කරන ප්‍රතිපත්ති හැඩගැස්වීමට සහ මූල්‍යකරණයට උපකාර කිරීමේදී ආසියානු සංවර්ධන බැංකුවට තීරණාත්මක කාර්යභාරයක් ඇත.
කොවිඩ් වසංගතය විසින් නිර්මාණය කරන ලද සැපයුම්දාම දෙදෙරා ගියා සේ ම යුක්‍රේන යුද්ධය හේතුවෙන් ගෝලීය භාණ්ඩ ප්‍රධාන වශයෙන් ආහාර, ඉන්ධන සහ පොහොර මිල අහස උසට නැගීම දරාගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කළේ ය. ඉහළ ගිය ආහාර සහ බලශක්ති මිල ගණන් මධ්‍යම පන්තියේ වර්ධනය හැකිලීමට තුඩු දෙන අතර ඉන්දියන් සාගර කලාපයේ අවදානමට ලක්විය හැකි ප්‍රජාව අතර තවදුරටත් අනාරක්ෂිතභාවයට හේතු වී තිබෙනවා.
මෙම කම්පනවල ප්‍රතිඵලයක් වශයෙන්, නැගී එන වෙළෙඳපොළ හරහා ස්වෛරී ණය බරතාවයෙහි ඉහළ යාමක් සිදුවී ඇත. නැගෙනහිර ආසියාවේ සහ දකුණු ආසියාවේ වර්ධන ඉලක්ක පහළට වැටී තිබෙනවා. මෙය වහා විසඳා නොගත හොත්, එය සියලු ආර්ථිකයන් හරහා වර්ධනයට සහ මූල්‍ය ස්ථාවරත්වයට තර්ජනයක් වන ණය බර තවදුරටත් වර්ධනය කිරීමේ අවදානමක් ඇති කරනවා.
ශ්‍රී ලංකාව ඇතුළුව පෙර පැවති ආර්ථික අවදානම් සහිත රටවල් වඩා ත් බලපෑමට ලක්ව තිබෙනවා. එබැවින්, කලාපය පුරා සහ ඇත්ත වශයෙන් ම ලෝකය පුරා ආර්ථික හා මූල්‍ය ස්ථාවරත්වය සහතික කිරීම සඳහා ණය හිමියන් සහ ණයගැති ජාතීන් සමානාත්මතාවයෙන් සාමූහිකව කටයුතු කළ යුතුයි.
ගෝලීය වේදිකාවේ වර්ධනය ශ්‍රී ලංකාවේ ස්වයං-ප්‍රේරක ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩු වෙනසක් ඇති කිරීමට තුඩු දුන් දේශපාලන පිපිරීමක් ද සිදු වුණා. අද අපි ආර්ථිකය ස්ථාවර කර ඇති අතර බොහෝ රටවල් සහ පාර්ශ්වකරුවන් මෙම අර්බුදය විසඳා ගන්නේ කෙසේ ද යන්න දැඩි ලෙස නිරීක්ෂණය කරනවා. මෙම අර්බුදය විසඳීම සඳහා අප සියලු පාර්ශ්වකරුවන් සමග කටයුතු කරන්නේ කෙසේදැයි බැලීමට බොහෝ ජාතීන් ශ්‍රී ලංකාවේ වර්ධනයන් දැඩි උනන්දුවකින් නිරීක්ෂණය කරනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ විකාශනයට දේශීය ප්‍රතිපත්තිමය අංග මෙන් ම බාහිර අර්බුදකාරී තත්ත්වයන් ද ඇතුළත් බව අපි හොඳින් දන්නවා. ඒ කියන්නේ, අර්බුදය විසඳීම සඳහා දේශීය උත්සාහයන් සහ බාහිර හවුල්කරුවන්ගේ සහයෝගය ද අවශ්‍ය බවයි.
සහයෝගිතා සහ සද්භාවයෙන් ක්‍රියාකිරීමේ ප්‍රතිඵලයක් ලෙස ස්වෛරී ණය ප්‍රශ්න සඳහා තිරසර සහ සාධාරණ විසඳුම් ලබා ගත හැකි ආකාරය පිළිබඳ ආදර්ශයක් තැබීම ශ්‍රී ලංකාවේ සහ අපගේ ණයහිමියන්, හවුල්කරුවන් වෙත පැවරී තිබෙනවා.
මේ සඳහා අප දැනටමත් ප්‍රධාන සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ දියත් කර තිබෙනවා. විස්තීරණ අරමුදල් පහසුකම මගින් අනුග්‍රහය දක්වන සිව් අවුරුදු වැඩසටහනක් සඳහා අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමකට එළඹ ඇති බව ඔබට මම සතුටින් දන්වා සිටිමට කැමැතියි. මෙම වැඩසටහන පෙළගැසී තිබෙන්නේ, ආණ්ඩුවේ කැපවීම සමග අපගේ රාජ්‍ය මූල්‍යවල තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීමට, බාහිර අසමතුලිතතා ආමන්ත්‍රණය කිරීමට විස්තීර්ණ ප්‍රතිසංස්කරණ පැකේජයක් ක්‍රියාවට නැංවීමටයි.
විශාල ආර්ථික පීඩනයක් මධ්‍යයේ, ශ්‍රී ලංකාව රටේ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ අපගේ කැපවීමේ කොටසක් ලෙස පෙර නොවූ විරූ මූල්‍ය ප්‍රයත්නයක් දරනවා. අපගේ ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මෙම ප්‍රයත්න සඳහා ශ්‍රී ලංකාවේ ණය හිමියන් සහ සියලු