දේශීය

ගෝඨාභයට එරෙහිව නඩු පැවරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසර

(UTV | කොළඹ) – වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහි ව විමර්ශනයක් සිදු කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන්නැ යි ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහි ව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (07) අවසර ලබා දුන්නා.

මෙම නියෝගය නිකුත් කළේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්.

වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයෙකු වන ජූලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ මහාචාර්ය මහීම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනුකර තිබෙනවා.

එමඟින් ඉදිරිපත් කර තිබෙන වගඋත්තර කරුවන් විසින් ඇමරිකානු ඩොලරය රුපියල් 203/- ක වටිනාකමේ රඳවා ගැනීමට උත්සාහ කිරීම, ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා ඉකුත් ජනවාරි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් විගණකාධිපතිවරයාට නියෝග කළා.

එසේම ආර්ථික අර්බුදය ඇතිවූ අවස්ථාවේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා නොගැනීම සම්බන්ධයෙන්ද විමර්ශනයක් කර අදාළ වාර්තාව ලබන වසරේ ජනවාරි මස 18 වනදා ට පෙර ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය විගණකාධිපතිවරයාට නියෝග කළේ.

ඊට අමතර ව වත්මන් ආර්ථික අර්බුදය ඇති වූ අවස්ථාවේ දී ඒ සම්බන්ධයෙන් පියවරයන් ගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ රාණි ජයමහ යන අය පාර්ලිමේන්තු කෝප් කමිටුවේ දී සිදු කරන ලද ප්‍රකාශවලට අදාළ සියලු‍ ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම බැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළා.

එම ලේඛන නොවැම්බර් මස 30 වනදාට පෙර අධිකරණය හමුවේ ගොනු කරන ලෙස යි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලයට නියෝග කළේ.

ඉන් අනතුරුව අදාළ පෙත්සම් ජනවාරි මස 09 වන දා යළි කැඳවීමට නියෝග කෙරුණා.

Related posts

ගම්පහ සහ කළුතර පාසැල් පෙබරවාරි 15 විවෘත කිරීමේ සූදානමක්

Mohamed Dilsad

මෙරට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඉහළට [UPDATE]

Mohamed Dilsad

රජය, භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියකින් රු. මිලියන 97,000ක ණයක් ගනී.

Editor O

Leave a Comment