දේශීය

පිටරට අය බඳින චක්‍රලේඛය වෙනස් වෙයි

(UTV | කොළඹ) – විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියේ දී රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති 2021 අංක 18 දරන චක්‍රලේඛය වහාම අහෝසි කර නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන ඇමැති, අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ (02දා) නිලධාරීන්ට උපදෙස් දී ඇත.

නිකුත් කර තිබෙන චක්‍රලේඛය මගින් විවාහ අපේක්‍ෂිතයන් විවාහයක දී ආරක්‍ෂක අමාත්‍යාංශය හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ආරක්‍ෂක නිශ්කාශන වාර්තා ලබාදිය යුතු සේම අදාළ විදේශ ජාතිකයාගේ සෞඛ්‍ය තත්ත්වය තහවුරු කර ගැනීම සඳහා වන ස්වයං ප්‍රකාශයක් ද ලබාදිය යුතුව තිබුණි. එමෙන්ම එවැනි විවාහයක් අතිරේක රෙජිස්ට්‍රාර්වරුන් විසින් පමණක් සිදුකළ යුතු බවද ඉහත චක්‍රලේඛයේ සඳහන් කර තිබිණි.

ඉදිරියේදී විවාහ ආඥාපනත යටතේ විදේශ ජාතිකයකු සහ ශ්‍රී ලාංකිකයකු අතර විවාහයක් ලියාපදිංචි කිරීමේ දී එම විදේශීය පාර්ශ්වය විසින් විදේශ ගමන් බලපත්‍රය, සිවිල් තත්ත්වය සනාථ කිරීමේ සහතිකය (අවශ්‍යතාව අනුව දික්කසාද ලියවිලි, වැන්දඹු බව සනාථ කිරීමේ ලියවිලි) උප්පැන්න සහතිකය (උපන්දිනය සනාථ කර ගැනීමට අවශ්‍ය උවහොත්) ඇතුළත් කරමින් නව චක්‍රලේඛයක් නිකුත් කරන ලෙස අගමැතිවරයා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට උපදෙස් දී ඇත.
චමින්ද සිල්වා

Related posts

අමෙරිකාවේ ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම් තීරණයක් ගනී

Mohamed Dilsad

සියලු ඉඩම් ඒකක මිණුම් කර අවසන් කරන ලෙස ජනපති උපදෙස්

Mohamed Dilsad

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ඉහළට

Mohamed Dilsad

Leave a Comment