දේශීය

දේශබන්දු ට එරෙහි පෙත්සමක් ගාස්තුවට යටත්ව නිශ්ප්‍රභ කෙරේ

ගෝඨා ගෝ ගම’ අරගල භූමියට පහරදීමේ සිද්ධියට අදාළව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගැනීමට නියෝග කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (27) නිෂ්ප්‍රභ කරනු ලැබීය.

 

මෙම නියෝගය ලබාදුන්නේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

 

ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර අධිකරණයට ඉදිරිපත් කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නීතිඥවරයෙකු වන රාමලිංගම් රන්ජන් මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

 

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ මැයි මස 09 වනදා ගාලුමෝදර ගෝඨා ගෝ ගම අරගල භූමියට පහරදීමේ සිද්ධියේ සැකකරුවකු වශයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නම් කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් ව තිබියදීත් නීතිපතිවරයා සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම කටයුත්ත මගහරිමින් සිටින බවය.

 

පෙත්සම අද විභාගයට ගත් අවස්ථාවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ. මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමටය.

 

දේශබන්දු තෙන්නකෝන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මතු කළ මූලික විරෝධතාවක් පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදුන්නේය.

 

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සඳහන් කළේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම, ප්‍රකාශ සටහන් කරගැනීම සහ අධිකරණයට ඉදිරිපත් කිරීම යන කාරණා විමර්ශකයින් සතු අභිමතානුසාරී බලයක් බවය.

 

අභිමතානුසාරී බලයක් ක්‍රියාත්මක කරන ලෙස රිට් ආඥාවක් නිකුත් කිරීමට හැකියාවක් නොමැති බව විනිසුරුවරයා පෙන්වා දී ඇත.

 

ඒ අනුව, බැලූ බැල්මටම මෙම පෙත්සම හරහා නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගනිමින් අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බව විනිසුරුවරයා සඳහන් කළේය.

Related posts

”මෙතෙක් රු.2000 නොලැබුණු පවුල්වලට අභියාචනා කළ හැකියි”

Mohamed Dilsad

නවක වද පැමිණිලි ගොඩ ගැහැයි

Mohamed Dilsad

අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment