දේශීය

පාසල් සිසුන්ට ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පෙළපොත් සකස් කිරීමට විශේෂ කමිටුවක්

පාසල් සිසුන් සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳ පෙළපොත් සකස් කිරීමටත් ඊට අදාළ විවිධ පාර්ශ්ව දැනුවත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් විශේෂ කමිටුවක් පත්කරන ලෙස උපදෙස් දී තිබේ.

 

‘ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ’ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය එම අමාත්‍යාංශ බලධාරීන්ට ඒ පිළිබඳ දැනුම් දුන්නාය.

 

ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිනිය මෙම දැනුම්දීම සිදුකළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදීය.

 

මෙම රැස්වීමට සහභාගී වූ සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති විවිධ ආයතන, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව යන ආයතවල නියෝජිතයන් ද මෙම කමිටුවට ඇතුළත් වන පරිදි එය පිහිටුවන ලෙසත් අදාළ සම්බන්ධීකරණ කටයුතුවල ප්‍රධාන වගකීම අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නා ලෙසත් රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මෙහිදී උපදෙස් දුන්නාය.

 

තවද මෙම කමිටුවේ වගකීම් මාස ​​තුනක් ඇතුළත අවසන් කළ යුතු බවත් ඒ සඳහා වන කාලරාමුවක් මීළඟ රැස්වීමේදී සකස් කිරීමට අපේක්ෂා කරන බවත් ඇය පවසා සිටියාය.

 

වයස අවුරුදු 16 ඉක්මවූ පාසල් සිසුන්ව ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුවත් කිරීමට දැනටමත් පෙළපොත් සකස් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් කාරක සභාවට පවසා තිබේ.

 

එසේවුවද දරුවාගේ මනසට ගැළපෙන පරිදි කුඩා කළ සිටම ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දරුවන්ව දැනුවත් කිරීමේ අවශ්‍යතාවක් පවතින බැවින් ඒ සඳහා පෙළපොත් සකස් කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතු බවත් කමිටුව විසින් අවධාරණය කරන ලදී.

 

මෙම වැඩසටහනේ පළමු අදියරේදී ‍පෙළ පොත් මුද්‍රණය නොකළද අන්තර්ජාලය හරහා සිසුන්ට පරිශීලනය කිරීමට අවස්ථාව ලබාදිය හැකි බවද මෙහිදී සාකච්ඡා විය.

 

ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම සඳහා ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳව ආගමික නායකයන්, දෙමාපියන්, ජනමාධ්‍ය ඇතුළු අදාළ පාර්ශ්ව දැනුවත් කිරීමේ වැඩසටහන් ද කමිටුව විසින් සංවිධානය කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරිණි.

 

විවාහයෙන් පසුව පවුල් සෞඛ්‍ය නිලධාරි කාර්යාලය මගින් කාන්තාවන්ට ලබාදෙන දැනුවත් කිරීම්වලදී ද ඔවුන්ගේ දරුවන් අනාගතයේ ලිංගික අපයෝජනවලින් ආරක්ෂා කරගැනීම පිළිබඳව අවබෝධය ලබාදිය යුතු බවටත් මෙහිදී යෝජනා විය.

 

 

Related posts

ජනපති ගිය නිවාස අධිකාරී කාර්යාලයේ කළමනාකරුවන්ට මාරුවීම්

Mohamed Dilsad

අද මෙතෙක් නව ආසාදිතයන් වාර්තා වී නැහැ

Mohamed Dilsad

බූස්ටර් ජංගම එන්නත්කරණ වැඩසටහන අද සිට

Mohamed Dilsad

Leave a Comment