පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගිවිසුම් අලුත් නොකිරීම හේතුවෙන් අම්පාර, රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ පුරාවිද්‍යා පර්යේෂණ කටයුතුවලින් ඉවත් වු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාඥ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, මේ හේතුවෙන් රජයට සහ ජනතාවට විශාල පාඩුවක් වනු ඇති බවය.
රජගලතැන්න පුරාවිද්‍යා භූමිය සද්ධාතිස්ස රජුගේ පුත් ලජ්ජීතිස්ස රජු විසින් කරවා ඇති ගිරිකුම්භල තිස්ස පබ්බත විහාරයේ දාගැබ, මිහිඳු මහ රහතන් වහන්සේ සහ ඉත්තිය තෙරුන් වහන්සේගේ භෂ්මාවශේෂ නිධන් කොට සකස් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.
මෙහි කැනීම් හා පර්යේෂණ කටයුතු ගිවිසුම්ගතව පුරාවිද්‍යා දෙපාර්මේන්තුව සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශය එක්ව 2012 වසරේදී ආරම්භ කෙළ්ය.
මේ සඳහා ඉන්දියාවේ ඩෙකෑන් විශ්වවිද්‍යාලය, බ්‍රිතාන්‍යයේ සහ ජර්මනියේ විශ්වවිද්‍යාල කිහිපයක්ද එක්වුණි.
මෙය නැගෙනහිර පළාතේ ආරම්භ කළ පළමු ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යා පර්යේෂණ කැනීම වන අතර එහිදි සිදුකළ කැනීම්වලදී ඓතිහාසිකව වැදගත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකිව තිබේ.
පුරාවිද්‍යා භූමිය ඒ අයුරින්ම සංරක්ෂණය කරමින් තමන් අඛණ්ඩව කැනීම් සිදුකළ පසුබිමක පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ ගිවිසුම තුන්වැනි වරට අලුත් කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව උනන්දුවක් නොදැක්වූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාසය සහ පුරාවිද්‍යා අධ්‍යයන අංශය පවසයි.
ඒ අනුව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ලිඛිත ඉල්ලීමක් මත රජගලතැන්න පුරාවිද්‍යා භූමියේ සියලු ගොඩනැගිලිවලට මුද්‍රා තැබු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නිලධාරින් එම යතුරු පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට භාර දී එම භූමියෙන් ඉවත් වු බව පුරාවිද්‍යාඥ මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුව මහතා පැවසුවේය.
මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතාගෙන් අප කළ විමසීමකදී පැවසුවේ, අදාළ පුරා විද්‍යා ස්ථානය සංචාරකයින් සඳහා විවෘත කිරීමට සැලසුම් කර ඇති බැවින් එහි බලය මධ්‍යම සංස්කෘතික අරමුදලට පවරා ඇති බවය.