පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂකයාට පහරදී මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 42 දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ලබන 19 වනදා විවෘත අධිකරණය හමුවේ කැඳවීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.
මේ සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින විත්තිකරුවන් 37දෙනෙකු එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් බන්ධනාගාර බලධාරීන්ට නියෝග කර ඇති බව සඳහන්ය.
“අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේ, දැනට ඇප මත මුදාහැර සිටින විත්තිකරුවන් පස් දෙනෙකුට ද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර ඇති බවය.
එදින නඩුව කැඳවීමෙන් අනතුරුව විත්තිකරුවන්ට චෝදනා පත්‍ර භාරදීමට නියමිතය.
මෙම සිද්ධිය විභාග කිරීම සඳහා විශේෂ විනිසුරු මඩුල්ලක් නම් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ තමාට පැවරී තිබෙන බලතල ප්‍රකාරව කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අගවිනිසුරුවරයා විසින් මෙම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල නම් කර තිබේ.
මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරුවරයා ලෙස ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා නම් කර ඇති බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.
සෙසු සාමාජික විනිසුරුවරු ලෙස මීගමුව මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි සහ ගම්පහ මහාධිකරණ විනිසුරු රුවන් පතිරණ යන මහත්වරු නම් කර තිබේ.
2022 වසරේ මැයි මස 09 වනදා නිට්ටඹුව ප්‍රදේශයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී මරා දැමීම ඇතුළු චෝදනා 14ක් යටතේ විත්තිකරුවන් 42ට එරෙහිව නීතිපතිවරයා එම අධිචෝදනා පත්‍රය ගම්පහ මහාධිකරණය හමුවේ ගොනුකර ඇති බව සඳහන්ය.
එම චෝදනා අතර අමරකීර්ති අතුකෝරාල මහතා ගේ වාහනයට පහර දී රුපියල් මිලියන 45 ක අලාභයක් සිදු කිරීම, අතුකෝරාල මහතාගේ අතේ පැළඳ සිටි මුදු තුනක් සොරකම් කිරීම, අතුකෝරාල මහතාගේ සාක්කුවේ තිබූ ඔහුගේ බිරිඳට අයත් ණය කාඩ්පතක් සොරකම් කිරීම සහ එම කාඩ්පත උපයෝගී කරගනිමින් නීති විරෝධී ලෙස භාණ්ඩ මිලදී ගැනීම ඇතුළු චෝදනා විත්තිකරුවන්ට එරෙහිව එල්ල ඇති බව සඳහන්.