දේශීය

පාස්කු වින්දිත කාන්තාවක් අභියාචනාධිකරණයට

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන රිට් පෙත්සම හරහා ඔහු අපරාධ යුක්ති ක්‍රියාදාමය මඟහැර යාමට තැත්කර ඇතැයි එම ප්‍රහාරයෙන් වින්දිතයෙකු බවට පත් කාන්තාවක් විසින් අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

 

තමන්ට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගොනුකළ රිට් පෙත්සම විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී අදාළ ප්‍රහාරයෙන් වින්දිතභාවයට පත්වූ සෙල්ලසාමි ප්‍රේමලෝගිනි නැමති කාන්තාවක් වෙනුවෙන් පෙනී සිටී නීතිඥ සුරේන් ඥානරාජ් මහතා මේ බව කියා සිටියේය.

 

මෙම පෙත්සම සෝභිත රාජකරුණා මහතා ප්‍රමුඛ පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු සඳහන් කළේය.

 

එම අවස්ථාවේදී අදාළ වින්දිත තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් පාස්කු ඉරුදින කොච්චිකඩේ දේවස්ථානයේ සිදුකෙරුණු බෝම්බ ප්‍රහාරයෙන් සිය සේවාදායිකාවගේ සැමියා වන ජෝර්ජ් චන්ද්‍රසේකරන් නැමැත්තා මියගොස් ඇයගේ දරුවන් දෙදෙනා දැඩි ශ්‍රවණාබාධිත තත්ත්වයකට පත්ව සිටින බව පැවසුවේය.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය රාජකාරිය බලවත් ලෙස පැහැරහැර තිබෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනටමත් තීන්දුකර ඇති බව නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දී තිබේ.

 

එසේ තිබියදී තමාට එරෙහිව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීම මඟින් හිටපු‍ ජනාධිපති සිරිසේන මහතා අපරාධ යුක්ති ක්‍රියාදාමයන් පළායෑමට උත්සාහ කර තිබෙන බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබේ.

 

හිටපු ජනාධිපතිවරයා ගොනුකළ මෙම රිට් පෙත්සමේ අවසන් තීන්දුවෙන් තම සේවාදායිකාවට සෘජුවම බලපෑමක් සිදුවන බැවින් ඊට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙසත් වින්දිත තැනැත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

 

අනතුරුව අදාළ පෙත්සම යළි නොවැම්බර් මස 21 වනදා කැඳවීමට අධිකරණය විසින් දින නියම කර තිබේ.

 

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම මඟින් සාපරාධී ලෙස රාජකාරිය පැහැරහැර ඇතැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව සිරිල් ගාමිණී පියතුමා සහ අදාළ ප්‍රහාරයෙන් වින්දිතයෙක් බවට පත් ජේසුරාජ් ගනේෂන් යන අය විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.

 

එම පැමිණිල්ල සලකා බැලූ කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා හිටපු ජනාධිපති සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි ද නිකුත් කර තිබේ.

 

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලූ කොමිෂන් වාර්තාව පදනම් කරගෙන තමන්ට එරෙහිව මේ ආකාරයෙන් පෞද්ගලික පැමිණිල්ලක් ගොනුකිරීම නීතියට පටහැනි බවත් එබැවින් එම පෞද්ගලික පැමිණිල්ල බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් ඉල්ලමින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම අභියාචනාධිකරණය හමුවේ ගොනුකර ඇත.

Related posts

6ක් ඇවිත් යුවළක් පැහැර ගනී

Mohamed Dilsad

ඊයේ මෙරටින් නව ආසාදිතයින් 2,131 හඳුනා ගනී

Mohamed Dilsad

රන්ජන් අද අධිකරණය හමුවට

Mohamed Dilsad

Leave a Comment