දේශීය

ක්‍රිකට් නඩුවට අදාළ පෙත්සම සලකා බැලීම අද

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුවේ කටයුතු අත්හිටුවමින් තහනම් නියෝගයක් නිකුත් කිරීමට අදාළ පෙත්සම අද (20) අභියාචනාධිකරණය හමුවේ සලකා බැලීමට නියමිතව තිබේ.

 

පෙත්සම පසුගිය 16 වනදා අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා ඉදිරියේදී කැඳවු අවස්ථාවේ එය අද දින දක්වා කල්තබා තිබුණි.

 

ක්‍රිකට් අතුරු පාලක කමිටුවක් පත්කරමින් නිකුත් කරනු ලැබූ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් අද දිනය වන තෙක් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බවට ක්‍රීඩා අමාත්‍යවරයා ලබාදුන් ප්‍රතිඥාවට අනුව එහි කටයුතු වළක්වමින් පනවා තිබූ වාරණ නියෝගය දීර්ඝ නොකිරීමට අභියාචනාධිකරණය තීන්දු කළේය.

 

පෙත්සම් විභාගයෙන් විනිසුරුවරුන් තිදෙනෙකු ඉවත්වීම හේතුවෙන් ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහිව ගොනුකළ මෙම පෙත්සම සලකා බැලීම සඳහා යළිත් නව විනිසුරු මඩුල්ලක් නම් කිරීමට අභියාචනාධිකරණය පසුගිය දා පියවර ගත්තේය.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා එම නඩු විභාගයෙන් ඉල්ලා අස්වු අතර අනතුරුව පෙත්සම විභාගය සඳහා පත්කළ සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලෙන් පුද්ගලික හේතුවක් මත විනිසුරු ධම්මික ගනේපොල මහතා ද ඉවත් වී තිබුණි.

 

ඒ අනුව පෙත්සම සලකා බැලීමට ඩී. එන්. සමරකෝන් සහ නීල් ඉද්දවෙල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් පත්කර තිබූ නමුත් නීල් ඉද්දවෙල විනිසුරුවරයා ද ඉන් ඉවත් වුණි.

 

ඒ අනුව අදාළ පෙත්සම සෝභිත රාජකරුණා සහ ඩී. එන්. සමරකෝන් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමට නියමිතය.

Related posts

මානව හිමිකම් නිලධාරීන් ලෙස පෙනී සිටින පිරිසක් පිළිබඳ තොරතුරු

Mohamed Dilsad

භූතානයේ අගරජතුමාගේ මෙහෙයවීමෙන් ත්‍රිපිටක සජ්ඤායනයක්

Mohamed Dilsad

පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ගණන ඉහළට

Mohamed Dilsad

Leave a Comment