Trending Newsඑසැන පුවත්දේශීය

අගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?

(UTV | කොළඹ) –

ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුගමනය නොකළ යුතු යැයි අගමැතිවරයා ප්‍රකාශ කරන බවත් මෙම ප්‍රකාශය පොලිස් දෙපාර්තමේන්තුවේ අනෙකුත් නිලධාරීන්ටත් අගෞරවයක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග පාර්ලිමේන්තුවට වෙනස් කිරීමට නම් ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍ය වන්නේ නැති බවත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පිළිබඳව අදහස් දැක්වීමට පාර්ලිමේන්තුවට බලතලයක් හෝ සුදුසුකමක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න පවසයි.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (26) පැවැති මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. “අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකළා. අගමැතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන කොටස් කිහිපයක් වැරදි ලෙස ප්‍රකාශ කරලා වැරදි අර්ථ නිරූපණයක් ලබාදීලා ඔහු උත්සහ කළේ රටත් පාර්ලිමේන්තුවත් නොමග යවන්න. 

මූලික අයිතිවාසිකම් පිළිබඳව සහ අධිකරණ බලය හා ඒ බලය ක්‍රියාත්මක කිරීම යනුවෙන් පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය පිළිබඳව 126 වන පරිච්ඡේදයේ සඳහන් වෙනවා. එහිදි පැහැදිලිව සඳහන් වෙනවා විභාග කොට තීරණය කිරීමේ තනි අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට තිබෙනවා කියලා.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක විධායකය , අධිකරණය , ව්‍යවස්ථාදායකය හරහා බලය බෙදා දීමක් සිදුකරලා තිබෙනවා. ආණ්ඩුක්‍රව ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා අධිකරණ බලය ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුව හරහා කියලා. ඒ වගේ නිලධාරීන් පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාව හරහා පත්වීම සිදුවිය යුතු බවත් සඳහන් වෙනවා. පත්වීම් සඳහා නම් යෝජනා කරන්න විධායකයට හැකියාව ලැබෙනවා නමුත් ව්‍යවස්ථාදායක සභාව එය අනුමත කළ යුතුයි. අනුමත නොකළහොත් ඒ පත්වීම් ලබාදෙන්න නොහැකියි.

පොලිස්පතිවරයා පත් කිරීමේදී ව්‍යවස්ථාදායක සභාවේ සිටි සමාජිකයන් දෙදෙනෙක් පමණයි පක්ෂව ඡන්දය ප්‍රකාශ කරලා තිබෙන්නේ. දෙන්නෙක් විරුද්ධව න්දය ප්‍රකාශ කරලා තිබෙන්නේ. දෙන්නෙක් ඡන්දය ප්‍රකාශ කිරිමේන් වැළකි ඉදලා තිබෙනවා. කතානායකවරයා ජනාධිපතිවරයාට යවපු ලියුමේ සඳහන් වෙන්නේ වැඩි ඡන්ද ගණනකින් පොලිස්පති ලෙස දේශබන්දු තෙන්නකොන් මහතා පත් වුණ බවයි. කතානායකවරයාත් ඒ සඳහා සහාය දෙන ආකාරයට තමයි ලිපිය සකස් කරලා තිබෙන්නේ.ඒ අනුව කතානායකවරයා ව්‍යවස්ථා විරෝධි කටයුත්තක් තමයි සිදුකරලා තිබෙන්නේ. අගමැතිවරයා ප්‍රකාශ කරනවා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට නියෝගයක් ලබාදෙන්න හැකියි කියලා. හොරාගේ අම්මාගෙන් පේන අහනවා වගේ වැඩක් තමයි මේ සිදුවෙලා තිබෙන්නේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනෙක් පොලිස්පතිවරයාගේ ක්‍රියා කාරීත්වය අත්හිටුවන ලෙස අතුරු තහනම් නියෝගයක් ලබාදීලා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු තිදෙනෙක් ලබාදුන්න නියෝගය අනුගමනය නොකළ යුතුයි කියලා තමයි අගමැතිවරයා කියන්නේ. මේ ප්‍රකාශය පොලිසියේ අනෙකුත් නිලධාරීන්ටත් අගෞරවයක්. ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග පාර්ලිමේන්තුවට වෙනස් කරන්න පුලුවන් කියලත් ඔහු කියනවා. එහෙනම් ශ්‍රේෂ්ඨාධිකරණයක් රටට අවශ්‍ය වෙන්නේ නෑ නේ. ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් පිළිබඳව අදහස් දක්වන්න පාර්ලිමේන්තුවට බලතලයක් හෝ සුදුසුකමක්වත් නෑ. අගමැතිවරයාගේ ක්‍රියාකලාපය නීත්‍යානුකූල නෑ. අනිත්‍යානුකූල නිගමන අනුගමනය කරන්න එපා කියලා රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා. රාජ්‍ය නිලධාරීන් ප්‍රවේශම් විය යුතුයි. 

විධායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇති කරන්න අගමැතිවරයා කටයුතු කරනවා. අවුරුදු 5 ක ජනාධිපතිවරයා පත් කළොත් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන නියෝග විසිකර දමලා රට පාලනය කරන්න පුලුවන්. ඒ නිසා පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණ ලබාදුන්න නියෝගය පිළිනොගන්නා බව අගමැතිවරයා පාර්ලිමේන්තුවේදි සිදුකළ ප්‍රකාශය සම්පුර්ණයෙන් ප්‍රතික්ෂෙප කරනවා. මේ ප්‍රශ්නය ජනතාවගේ ස්වෛරීත්වයට ගැටලුවක් වන නිසා විපක්ෂයේ දේශපාලන පක්ෂයක් වන ජාතික ජනබලවේගයත් මේ සඳහා එකතු වෙලා කටයුතු කළ යුතු යැයි ද කීවේය.

Related posts

உந்துருளியில் வந்த இருவர் மாணவி மீது ஊசிய ஏற்றிய கொடூரம்…

Mohamed Dilsad

புகையிரத தொழிற்சங்கங்களால் மேற்கொள்ளப்பட இருந்த வேலைநிறுத்தம் கைவிடப்பட்டது

Mohamed Dilsad

වසරක් තුළ කුණු ප්‍රශ්නයට රජයෙන් ස්ථිර සාර විසදුමක්

Mohamed Dilsad

Leave a Comment