එළඹෙන මහ කන්නයේ සිට යුරියා පොහොර මිටියක් රුපියල් 4000කට ලබා දීමට රජය අවධානය යොමු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කරයි. 2022 යල කන්නයේ රුපියල් 42,000ක් ව පැවැති යුරියා පොහොර මිටියක මිල මෙම වර්ෂය යල කන්නය වනවිට රුපියල් 8000ක් දක්වා අඩු කර තිබේ.
පොහොර මිල දී ගැනීම සදහා රජය විසින් 2022 යල කන්නයේ සිට 2024 මහ කන්නය දක්වා රුපියල් මිලියන 55,000කට වැඩි මුදලක් රජය විසින් ගොවි ජනතාවගේ ගිණුම්වලටම බැර කර තිබෙනවා.මෙවර මහ කන්නයේ සිට එම මුදල හෙක්ටයාර් එකකට රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අනුමැතිය දී තිබේ. එමෙන්ම මෙම රුපියල් 25,000ක මුදල ගොවි ගිණුම්වලටම බැර කිරීමට පියවර ගෙන තිබේ.
මේ සමගම පොහොර මිල ද අඩු කිරීමට රජය අවධානය යොමු කර ඇතැයි කී අමාත්‍යවරයා 2024 මහ කන්නයේ දී යුරියා පොහොර මිටියක මිල රුපියල් 4000 දක්වා අඩු කරන බවද කීවේය. එමෙන්ම 2024 මහ කන්නයේ දී හා 2025 මහ කන්නයේ දී සෑම කුඹුරකටම බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර අවශ්‍ය ප්‍රමාණයම නොමිලයේ ම ලබා දීමට රජය විසින් මේ වනවිට බණ්ඩි පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් ලබා ගැනීමට ලෝක ආහාර වැඩ සටහන සමග එකඟතාවන්ට එළැඹී තිබෙනවා. එමෙන්ම මෙම පොහොර බෙදාහැරීම සඳහා අවශ්‍ය වන රුපියල් බිලියන 1.5ක මෙහෙයුම් මුදල ද රජය විසින් ලබා දීමට මහාභාණ්ඩාගාරයේ අනුමැතිය ලැබි ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.
රට තුළ ආර්ථික අර්බුදයක් පැවැතිය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්මාන්තයට අවශ්‍ය සමස්ත මුදල් ප්‍රමාණයම කිසිදු පැකිලිමකින් තොරව ලබා දී ඇතැයි ද කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළා.