Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

විදුලි බිල අඩු කරන්නේ මුදල් ඇමති අනුමත කළොත් – ලංවීම සභාපති

විදුලි ගාස්තු සහනය ජනතාවට ලබාදීම තීරණය වන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව යැයි ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය පැවැසීය. මහජන උපයෝගිතා කොමිසමේ අධීක්ෂණ බලය තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට යැයිද ඒ අනුව විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීම අමාත්‍යවරයාගේ නිර්දේශ අනුව සිදුවනු ඇතැයිද සියඹලාපිටිය මහතා කීවේය.

විදුලිබල පනතේ සඳහන් වන්නේ වියදමට සරිලන විදුලි බිලක් ස්ථාපිත කළ යුතු බව යැයි කී හෙතෙම ලංකා විදුලිබල මණ්ඩලය හා මහජන උපයෝගිතා කොමිසම යන ආයතන දෙකම මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණයට යටතේ යැයි අවධාරණය කළේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා මේ අදහස් පළ කළේ විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ගත් තීරණය නිර්දේශ ලෙස හඳුන්වමින්ද එම නිර්දේශ ක්‍රියාත්මක කෙරෙන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් අනුව බව සඳහන් කරමින් ලංවීම නිවේදනයක් නිකුත් කිරීම ගැන කළ විමසීමට පිළිතුරු දෙමිනි.

සමස්තයක් ලෙස සියලුම කාණ්ඩවලට අයත් විදුලිය ගාස්තුව 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පෙරේදා (17දා) තීන්දුවක් ගත් අතර එය එදින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක යැයිද එම කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා කොළඹදී නිල වශයෙන් මාධ්‍ය හමුවේ පැවැසීය.

මහජන උපයෝගිතා කොමිසම මෙම තීරණය ගත්තේ 2025 මුල් මාස 6 සඳහා මෙතෙක් පැවැති ගාස්තු එලෙසම පවත්වාගෙන යෑම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කළ පසු බිමකය.

මෙසේ ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කළ සංශෝධන යෝජනාව, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සකස් කළ ප්‍රති යෝජනාව හා ඒවා සම්බන්ධයෙන් සිදු කළ මහජන උපදේශනයේදී ඉදිරිපත් වූ අදහස් හා යෝජනා සමාලෝචනය කිරීමෙන් අනතුරුව විදුලිය ගාස්තු 20%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සාමාජිකයන් තීරණය කළ බව ඔහු කීය.

ඒ අනුව සිකුරාදා දින (17දා) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි විදුලිය ගාස්තු සංශෝධනය වන බව කීවේ මේ අයුරිනි.

ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 0 – 30 අතර සියයට 29 කින්, ඒකක 31 – 60 අතර සියයට 28කින්, ඒකක 61 – 90 අතර සියයට 19කින්, ඒකක 91 -180 අතර සියයට 18 කින්, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ විදුලිය ගාස්තුව සියයට 19 කින් අඩු කෙරෙන බවත්, පොදු කාර්ය කාණ්ඩය සඳහා සියයට 12කින්ද, රාජ්‍ය ආයතන සඳහා සියයට 11 කින්ද, හෝටල් සඳහා සියයට 31 කින්ද, කර්මාන්ත සඳහා සියයට 30 කින්ද, ආගමික හා පුණ්‍යායතන සඳහා සියයට 21 කින්ද, වීථී ලාම්පු සඳහා සියයට 11 කින්ද ගාස්තු අඩු කර ඇති බව ජයනාත් හේරත් මහතා සඳහන් කළේය.

නව විදුලි ගාස්තු සංශෝධනයත් සමඟ ඒකක 0 – 30 අතර ගෘහස්ථ කාණ්‍ඩයේ රුපියල් 100ක් වූ මාසික ගාස්තුව රුපියල් 75 දක්වාත්, ඒකකයක් සඳහා අය කළ රුපියල් 6ක් වූ ගාස්තුව රුපියල් 4ක් දක්වා අඩු වන බවත් ඒකක 31 60ත් අතර රුපියල් 250ක් වූ මාසික ගාස්තුව රුපියල් 200 දක්වාත්, ඒකකයත් සඳහා අය කළ රුපියල් 9ක් වූ ගාස්තුව රුපියල් 4 දක්වාත් අඩු වන බවත් හෙතෙම සඳහන් කළේය.

පනතේ ප්‍රතිපාදන අනුව අවසාන නිගමනය මෙය වන අතර, සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සිට නීත්‍යනුකූලව මෙම විදුලිය ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක විය යුතු බවත්, නව ගාස්තු ක්‍රමය ක්‍රියාත්මක කිරීමට විදුලිබල මණ්ඩලය බැඳී සිටින බවත් සඳහන් කළේය.

ලෙකෝ විදුලි පෞද්ගලික සමාගම පෙර ගෙවුම් ගාස්තු ක්‍රමයක් යෝජනා කර තිබූ බවත් එය අප්‍රේල් මාසයේදී පමණ ක්‍රියාත්මක විය හැකි බවත් සඳහන් කළ ඒ මහතා ඊට කැමැති ලෙකෝ විදුලි පාරිභෝගිකයන්ට මෙම ක්‍රමයට අනුගත විය හැකි බවත් පැවැසීය.

මෙය සරල ක්‍රමයක් බවත් පෙර ගෙවුම් අනුව ඒකක 90 ඒකකයක් සඳහාම රුපියල් 14ක්ද, ඒකක 90 වැඩි ඒකකයක් සඳහා රුපියල් 52ක ගාස්තුවක් මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ බවද කීය.

අනුර බාලසූරිය/ බිඟුන් මේනක ගමගේ

Related posts

අද සිට අළුයම් කාලයේ දී උල්කා වර්ෂාවක්

Mohamed Dilsad

Travel ban Extended to four ETI Executive Committee Members

Mohamed Dilsad

President Sirisena meets Japanese Emperor Akihito

Mohamed Dilsad

Leave a Comment