Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රි ලංකාවේ මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීමට, ඇමෙරිකානු ජනතාවගේ බදු මුදල් ඩොලර් මිලියන 7.9ක් වැය කරලා.

ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට වැඩමුළු පැවැත්වීම සඳහා USAID ආයතනය අමෙරිකානු ඩොලර් මිලියන 7.9ක මුදලක් වැය කර ඇතැයි අමෙරිකානු රජය අනාවරණ කරයි. ට්‍රම්ප් පරිපාලනය මෙය හඳුන්වාදී තිබුණේ අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්තිකරන විකාරරූපී වියදමක් ලෙසය.  USAID ලොවපුරා සුබසාධන සහ සංවර්ධන ව්‍යාපෘති සිදුකිරීමට මුදල් වෙන්කළ ප්‍රධාන ස්වාධීන ආයතනයකි. 

වත්මන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගය යටතේ එම ආයතනයේ කාර්යමණ්ඩලය නැවත කැඳවා, දින 90ක කාලයකට එහි කටයුතු අක්‍රිය කිරීමට පසුගියදා කටයුතු කෙරුණි. රොයිටර්ස් මාධ්‍ය ජාලය වාර්තා කළේ, රටවල් 100කට වැඩි ප්‍රමාණයක විවිධ ව්‍යාපෘති සහ මෙහෙයුම් සිදුකළ USAID ආයතනයේ 10,000කට අධික කාර්යමණ්ඩලය 294කට සීමාකිරීමට ට්‍රම්ප් පරිපාලනය සැලසුම් කර ඇති බවය. 

මෙවන් පසුබිමක USAID වැඩසටහන ගෙවුණු වසර කිහිපය තුළ මුදල් වැයකළ ව්‍යාපෘති සම්බන්ධ වාර්තාවක් ට්‍රම්ප් පරිපාලනය අනාවරණ කළේය.  එම වාර්තාවට අනුව එම අරමුදල යටතේ සිදුකළ විවාදාත්මක වියදම් අතරට, අල්කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ත්‍රස්ත කල්ලියකට ආහාර වේල් ලබාදීම සහ සමරිසි ව්‍යාපාර දිරිමත් කිරීමේ වැඩසටහන් ප්‍රවර්ධනයට මුදල් ලබාදීම අයත් ය.

එවන් එක් ව්‍යාපෘතියක් යටතේ ශ්‍රී ලංකා මාධ්‍යවේදීන්ට ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම්ව සිදුකරන භාෂා භාවිතයෙන් වළකින ආකාරය පිළිබඳ වැඩමුළු පවත්වා ඇති අතර ඊට වැය කළ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 7.9කි. MEND එනම් ප්‍රජාතන්ත්‍රවාදී ශ්‍රී ලංකාවක් සඳහා මාධ්‍ය සවිබලගැන්වීම නම් එම ව්‍යාපෘතිය යටතේ සති කිහිපයක් පුරා, ස්ත්‍රී පුරුෂභාවය සහ LGBTQ ආශ්‍රිත මාතෘකා සම්බන්ධව මාධ්‍යවේදීන් සඳහා වැඩමුළු හතරක් පමණ පවත්වා ඇතැයි ද වාර්තා වෙයි. 2017 වසරේ සිට 2023 දක්වා පැවති මේ ව්‍යාපෘතිය ට්‍රම්ප් පරිපාලනය හඳුන්වාදී තිබුණේ විකාරරූපී ව්‍යාපෘතියක් ලෙසය.

අමෙරිකානු සෙනෙට් සභික ජෝන් කෙනඩි, “අපේ ජනතාවගේ බදු මුදලින් ඩොලර් මිලියන 7.9ක්, ශ්‍රී ලාංකික මාධ්‍යවේදීන්ට ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම්ව භාෂා භාවිතයෙන් වළකින හැටි කියාදෙන්න වැය කරලා කියලා මස්ක් මහත්තයා හොයාගත්තා. ඒ වුණාට ස්ත්‍රී පුරුෂ ලිංගිකත්වය මත පදනම් භාෂා කියන්නේ මොකක්ද කියලාවත් මං දන්නේ නැහැ. ද්වීමය- ලිංගිකත්වය..”

X සටහනක් තැබූ ජනාධිපති ට්‍රම්ප්ගේ සමීපතම හිතවතා බවට පත්ව සිටින ධන කුවේර ඊලෝන් මස්ක්, ද මෙම ව්‍යාපෘති අමෙරිකානු ජනතාවගේ බදු මුදල් නාස්ති කිරීමක් ලෙස හඳුන්වාදී තිබුණි.

Related posts

National Programme to create rural entrepreneurs

Mohamed Dilsad

Easter Blasts in Sri Lanka: Van transported the explosives discovered; Driver arrested

Mohamed Dilsad

අර්තාපල් සහ ලූණු ආනයන බද්ද ඉහළට

Editor O

Leave a Comment