ජාතික ජල සම්පාදන මණ්ඩලයට ජල පිරිපහදුවට ආනයනය කර ඇති රසායන ද්‍රව්‍ය තොගයක ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වන චෝදනාවන්ට ජාතික ජල සම්පාදන හා ජලා පවාහන මණ්ඩලය ප්‍රතිචාර දක්වයි.
එහි සභාපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.
ජල පවිත්‍රීකරණයට අවශ්‍ය කරන පිළිස්සූ හුණු (Hydrated Lime) ටොන් 1500 ක් මිලදී ගැනීමට (කොන්ත්‍රාත් අංකය: SUP&MM/CHEM/HL – 05/2022/18)” යටතේ ජාතික පුවත්පත් හරහා විවෘතලංසු කැඳවන ලදි. ටෙන්ඩර් පත් සමග ලබා දුන් සාම්පල පරීක්ෂාවට ලක් කර ඉන් සමත් වූ සම්පුර්ණ සුදුසුකම් ලත් හා අවම ලංසුව ලබාදුන් ලංසුකරු වන Ceegreen Engineering (Pvt) Ltd ආයතනයට 2024.07.31 දින මෙම ටෙන්ඩරය ප්‍රදානය කර ඇත
ඉන් අනතුරුව නැව්ගත කිරීමට පෙර තත්ත්ව පරීක්ෂාව සාක්ෂි සහිතව සිදු කිරීම පිණිස මණ්ඩලයේ නිලධාරී කණ්ඩායමක් සහභාගී විය. එම අවස්ථාවේදී ලබාගත් සාම්පල පිරිවිතර හා අනුකූල වූ බැවින් නැව් ගත කිරීමට අවසර දුන් අතර, ඒ අනුව මුලින්ම හුණු ටොන් 380ක් කොන්ත්‍රාක්කරු විසින් ලංකාවට ගෙන්වා මණ්ඩලයේ ගබඩා වෙත භාරදෙන ලදී. පිළිපදින ක්‍රම වේදයන් පරිදි එම කොගයෙන් නැවත අහඹු සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේදී එම හුණු වල ඇති ක්‍රෝමියම් ප්‍රමාණය පිරිවිතරයේ සදහන් 10mg/kg ප්‍රමාණය ඉක්මවා ඇති බව සොයාගන්නා ලදී. (ඇමුණුම 1)
මණ්ඩලයේ සහ බාහිර රසායනාගාර වලින් ලද ප්‍රතිඵල අනුව ක්‍රෝමියම් ප්‍රමාණය 11-14 mg/kg අතර අගයන් විය. එමෙන්ම සැපයුම්කරු හා එක්ව සාමුහිකව ලබාගත් සාම්පලයද 11.3 mg/kg ප්‍රමාණයක් ක්‍රෝමියම් අන්තරගතව ඇති බව සොයා ගන්නා ලදී. (ඇමුණුම 2)
ඒ අනුව මෙම තොගය පිරිවිතරයන්ට අනුකූල නොවූ බැවින් මණ්ඩලයේ තොග වලට නොගෙන වෙනම් ගබඩා කර ඇත. එමෙන්ම එම තොගය කිසිදු පවිත්‍රී කරණ ක්‍රියාවලියකට යොදාගෙන නොමැත.
මෙම පරීක්ෂණ අතරතුර දෙවන නැව් ගත කිරීම ලෙස තව ටොන් 209 ක් එම කොන්ත්‍රාත්තුව යටතේම ලැබී ඇති අතර ඉන් අහඹු ලෙස සාම්පල් රැගෙන පරීක්ෂා කිරීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතී. එම තොගය නිසි පිරිවිතරයන්ට අනුකූල නම් පමණක් ඒවා ගබඩා තොග වලට එකතු කර භාවිතයට ගනු ලැබේ.
කෙසේ වෙතත් අවශ්‍ය ප්‍රමිතීන්ට අනුකූල නොවේ නම් මෙම තොග දෙකම සැපයුම්කරු විසින් ප්‍රතිස්ථාපනය කල යුතු වේ. එතෙක් ඔහුට හිමි ගෙවීම් සිදු කරනු නොලැබේ.
ජල පවිත්‍රීකරණයට සදහා මණ්ඩලය භාවිතා කරනු ලබන්නේ SLS ප්‍රමිතීන් වේ. දින කීපයකට පෙර SLS ප්‍රමිතියේ සදහන් 10 mg/kg ක් වූ උපරිම ක්‍රෝමියම් සාන්ද්‍රණය 12 mg/kg ක් ලෙස ඉහල දමා ඇත. මෙම වෙනස සිදුකලේ SLS ආයතනය විසින් වන අතර ඒ සදහා මණ්ඩලයෙන් කිසිදු ඉල්ලීමක් කර නොමැත. ජාත්‍යන්තර ප්‍රමිතීන් කිහිපයක්ද මේ සමග ඉදිරිපත් කරමු. (ඇමුණුම 3)
නැවතත් අවධාරණය කර සිටිනුයේ සාකච්ඡාවට භාජනය වෙමින් පවතින හුණු තොගය තවම මණ්ඩලයේ තොග වෙන භාරගෙන නොමැති බවත් කිසිදු පවිත්‍රීකරණ ක්‍රියාවලියකට තවම යොදාගෙන නොමැති බවත්ය. සෞඛ්‍යය සම්පන්න ජාතියක් බිහි කිරීම සදහා කැපව් සිටින ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සෞඛ්‍යයට හානි වන කිසිදු ද්‍රව්‍යයක් පිරිපහදු කරණයේදී භාවිතා නොකරන බවත් ඉදිරියටද එසේ නොකරන බවත් සහතික වන අතර මණ්ඩලය විසින් විශාල පිරිවැයක් දරා සපයන ජලය පිළිබද කිසිදු අනියත බියක් ඇති කර නොගන්නා ලෙස කාරුණිකව දන්වා සිටිමු.