Trending Newsඑසැන පුවත්දේශීය

වැට් බදු (සංශෝධන) පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කෙරේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය ගරු කථානායකවරයා වෙත ලැබී ඇති බව ගරු නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා අද (08) පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව රජයේ පාර්ශ්වය විසින් ලබා දුන් ප්‍රතිඥාව සැලකිල්ලට ගනිමින් S.C. (SD) 05/2025 සහ S.C. (SD) 06/2025 යන පෙත්සම් ඉදිරිපත් කරන ලද පෙත්සම්කරුවන් විසින් එම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කරගෙන නොයෑමට තීරණය කර ඇති බැවින්, අදාළ පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳව අධිකරණය විසින් තීන්දුවක් ලබා නොදුන් බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දැනුම් දී තිබෙන බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

එමෙන්ම කෑගල්ල මැතිවරණ කොට්ඨාසයේ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා මියයාම හේතුකොට ගෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 66(අ) ව්‍යවස්ථාව ප්‍රකාරව, 2025 අප්‍රේල් 06 දින සිට දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී නිවේදනය කළේය.

ඒ අනුව එතුමාගේ අභාවය පිළිබඳව බලවත් කණගාටුව පල කරමින් මෙම ගරු මන්ත්‍රීවරයාගේ පවුලේ සාමාජිකයින් වෙත පාර්ලිමේන්තුව වෙනුවෙන් සාතිශය සංවේගය ප්‍රකාශ කරන බව ද නිවේදනය කළේය. එමෙන්ම මේ පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව මතු දිනයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවද ගරු නියෝජ්‍ය කථානායකවරයා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේය.

Related posts

වී අලෙවි මණ්ඩලේ කෝටි 10ක වී තොග අතුරුදන්

Mohamed Dilsad

ඉන්දියාවේ අනතුරට ලක්වූ යානයේ ගමන් කළ සියලු දෙනා මිය ගොස් ඇතැයි සැක කරයි.

Editor O

All Government schools in Kandy closed today

Mohamed Dilsad

Leave a Comment