ප්‍රමුඛ පුවත 1

මෙරට අසරණ රෝගීන් වෙනුවෙන් ලබාදුන් සහයට ජනපති චීනරජයට තුති පුදයි

(UTV|කොළඹ) – චීන රජයෙන් ලැබුණු පරිත්‍යාගය ඇගයීමට ලක් කරමින් ඒ උතුම් පරිත්‍යාගය මේ රටේ ජනතාව වෙනුවෙන් විවර කරන්නට මූලික ආරම්භයක් සලසන අද දවස ඉතා වැදගත් දිනයක් ලෙස මා සලකනවා. මිලියන 12,000 ක්, කෝටි 1200 ක්, බිලියන 12 ක් වැනි විශාල මුදලක් චීන ජනාධිපති ෂින් ජින් පින් මැතිතුමා ඇතුළු චීන ජනතාව අපේ අසරණ රෝගීන් ප‍්‍රමුඛව ජනතාව වෙත ලබාදීම පිළිබඳව ශ‍්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් මගේ ගෞරවනීය ස්තූතිය මා පුද කරනවා”.

චීනය සහ ශ‍්‍රී ලංකාව අතර තිබෙන්නේ දීර්ඝකාලීන මිත‍්‍රත්වයක්. වසර දහස් ගණනක අපේ ඉතිහාසය තුළ චීන – ශ‍්‍රී ලංකා සම්බන්ධතාවයන් ශක්තිමත් වන්නේ බෞද්ධ ඉතිහාසයත් සමගයි. ෆාහියන් භික්ෂූන් වහන්සේගේ ශ‍්‍රී ලංකා ගමනත් ඒ පිළිබදව වන කදිම සාක්ෂියක්. මෑත යුගයන් පිළිබඳව කතා කරන විට 1956 බලයට පත් වූ එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මැතිතුමා ලෝකයේ සියලූ රාජ්‍යයන් සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ගොඩනැගීමේ ප‍්‍රතිඵලයක් විදියට 1957 චීනය සමග රාජ්‍ය තාන්ත‍්‍රික සබඳතා ඇති කර ගත්තා. මේ වසර චීන ශ‍්‍රී ලංකා 70 වෙනි සබඳතා සමරන වසරයි. පසුගිය වසර 70 ක කාලය තුළ සෑම රජයක් යටතේම චීනය අපේ රටේ සංවර්ධනයට විවිධ ක්ෂේත‍්‍ර හරහා විශාල වශයෙන් ආධාර උපකාර කරලා තිබෙනවා. චීන රජය අපේ ආරක්ෂක හමුදාවට ලබාදුන්න නවීනතම අවි ආයුධ වසර 30 ක් පමණ පැවති එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කරන්න, සාමය ඇති කරන්න විශාල ශක්තියක් වුණු බව මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරන්නට ඕනෑ. මෙය පොළොන්නරුවේ ඉදි වූවත් මේ උතුම් පරිත්‍යාගය ලැබෙන්නේ වකුගඩු රෝගයෙන් පෙළෙන ශ‍්‍රී ලාංකීය සියලූ ජනතාවටයි. රෝගීන් සඳහා සිදුකරන ප‍්‍රතිකාර වගේම වකුගඩු රෝගය ඇති වීම සම්බන්ධයෙන් පර්යේෂණ කිරීම සඳහා පර්යේෂණ අංශයකුත් මෙහි පිහිටුවීමට නියමිතයි. පසුගිය මෑත දශක දෙකක තුනක වකුගඩු රෝගය පිළිබඳව ලැබූ කටුක අත්දැකීම් සමග වකුගඩු රෝගීන්ගේ ප‍්‍රතිකාර, නිවාරණය, පර්යේෂණ වැනි අංශ ශක්තිමත් කිරීම සඳහා මේ ලැබුණු පරිත්‍යාගය තුළින් රජයක් විදියට සහ රටක් විදියට නව පියවරක් තබනවා”.

ගෙවී ගිය අවුරුදු තුනක කාලය ගත් විට ලෝකයේ ප‍්‍රබල රාජ්‍යයන් ප‍්‍රබල රාජ්‍ය නායකයින් සියලූදෙනා හමුවෙමින් ගොඩනගාගත් අන්තර්ජාතික සහයෝගිතාවය මිත‍්‍රත්වය සුහදතාවය අපේ රටේ සංවර්ධනයට සහ විවිධ ක්ෂේත‍්‍ර සඳහා ඉතාමත් වැදගත් වෙලා තිබෙනවා. චීනයෙන් මේ ලැබුණු මහා පරිත්‍යාගය වගේම මීට මාස 03 කට කලින් ඉන්දීය රජයෙන් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිුමාගෙන් පාසලක් ලබා දෙන්න කියලා මා ඉල්ලීමක් කළා. කදුරුවෙල නගරය පසුකරන විට ඉදිවෙමින් තිබෙන්නේ ඒ ත්‍රෛභාෂා පාසලයි. ඒවගේම මම දැන් මාස දෙකකට කලින් කටාර් රාජ්‍යයේ නිල සංචාරයක නිරත වුණා. එහිදී අපට උදව් ආධාර රාශියක් ලැබුණා. කටාර් ඉඳලා ලංකාවට ඇවිල්ලා දවස් දෙකක් ඇතුළත කටාර් එමීර් පාලකතුමා විශේෂ පණිවුඩයකින් දැන්වුවා ලංකාවේ ඕනෑම ස්ථානයක මහා නගරයක් ඉදි කරන්න කෝටි සිය ගණනක පරිත්‍යාගයක් කරන්නම් කියලා. චම්පික රණවක අමාත්‍යතුමාට ඒ නගර සැලැස්ම මම භාර දුන්නා. එතුමයි මහනගර අමාත්‍යාංශයයි තීරණය කරන ලංකාවේ සුදුසු ස්ථානයක ඒ මහ නගරය ඉදි කිරීමේ කටයුතු වහා ආරම්භ කරන්න කටයුතු යෙදෙනු ඇති. මම රුසියාවට ගිය අවස්ථාවේ ජනාධිපති ව්ලැඞ්මීර් පුටින් මැතිතුමා සමග ඉතා හිතවත් මිත‍්‍රශිලීභාවයක් ඇති කර ගත්තා. රාජ්‍ය නායකයෙකුට රුසියාවට එන්න ඇරයුමක් ලැබුණේ වසර 44 කට පසුවයි. දීර්ඝකාලීන සහයෝගීතාවය මත මේ රටේ ආරක්ෂාවට අවශ්‍ය නැව්, ගුවන් යානා, හෙලිකොප්ටර් සඳහා රුසියන් රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තිබෙනවා. ඒවගේම ගිය සතියේ කොරියාවේ සංචාරය කළා. කොරියාවේ නව ජනාධිපතිතුමා මුන් ජේ මැතිතුමා ඉතාම නිහතමානී විශිෂ්ට නායකයෙක්. ඔහු අපිට උදව් ආධාර රාශියක් දුන්නා. ඔහුගෙන් සමුගන්න වෙලාවේ එතුමා මගේ කනට කරලා කිව්වේ ඕනෑම හදිසි අවස්ථාවක අත්‍යවශ්‍ය කුමක්ද එතුමාට දුරකථන ඇමතුමකින් දන්වන්න එසැණින් එය ඉටුකරනවයි කියලා එතුමා මට කිව්වා. මේ විදියට අපි ලෝකයේ සෑම රටක් එක්කම යුරෝපයද ඇමරිකාවද අනිකුත් සියලූ රටවල් සමග ඒ අන්තර්ජාතික සහයෝගීතාවය වර්ධනය කර ගෙන තිබෙනවා. මම ජනාධිපතිවරයා වෙන්න කලින් මේ රටේ සංවර්ධනයට මේ රටේ ඉදිරි අනාගතය සඳහා අපට නොතිබුණු බලවත්ම ගැටලූව තමයි අන්තර්ජාතික සහයෝගීතාවය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉඳලා ලෝකයේ ප‍්‍රබල රටවල් අපි දෙස බැලූවේ වැරදි විදියට. අපිට අදව් උපකාර කිරීමෙන් වැළකිලා සිටියා. අන්තර්ජාතික වශයෙන් අපි කොන්වෙලා සිටියා. මගේ මැතිවරණ ප‍්‍රකාශනයේ දුන්න ප‍්‍රතිඥාව අනුව මූලික වශයෙන්ම ජාත්‍යන්තර සහයෝගය ලබා ගන්න ලෝකයේ රාජ්‍ය නායකයින් හමුවෙලා පැහැදිලිව මේ රටේ ගෙනියන රාජ්‍ය පාලනයේ නිදහස, ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සංහිඳියාව, මානව හිමිකම්, යුක්තිය, සාධාරණත්වය, අධිකරණයේ නීතියේ ආධිපත්‍යය ඒ සියල්ල ශක්තිමත් කරමින් රට තුළ යහපාලන සංකල්පය ශක්තිමත් කිරීමට මා කටයුතු කළා. ඒ නිසා තමයි අපිට මේ විදියට ජාත්‍යන්තරයේ විශාල සහයෝගයක් තිබෙන්නේ. චීන රජය යටතේ ලබාදෙන මේ පරිත්‍යාගය වගේම ඒ දීර්ඝකාලීනව ලැබුණු දේවල් වගේම අනාගතයේ චීනය වගේම අනිකුත් ප‍්‍රබල රාජ්‍යන් තුළින් අපිට විශාල වශයෙන් උදව් ආධාර ලැබෙනවා. ඔබ දකිනවා ඇති මෙතනින් කදුරුවෙල නගරයට යන විට පාරේ දකුණු පැත්තේ රුපියල් කෝටි 150 කින් ඉදිවන නව වෙළෙඳ සංකිර්ණය අපිට චීනයෙන් ලබාදීලා තිබෙන්නේ.

අද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ සංවර්ධනය, පරිවර්තනය, වෙනස ලංකාවේ අනිකුත් සංවර්ධිත ප‍්‍රදේශ වගේම වේගවත්ව වෙනස් වෙමින් යනවා. රජයට විවේචන තිබෙනවා. චෝදනා තිබෙනවා. නොයෙකුත් නින්දා අපහාස උපහාස තිබෙනවා. නමුත් ඒ සියල්ල තුළ අපි වෙනස්කම් රාශියක් ඇති කරලා තිබෙනවා. පොළොන්නරුවේ ඉන්න කවුරුහරි කියනවා නම් මේ ආණ්ඩුව මොනවද කළේ කියලා. මම හිතන්නේ මොලේ අමාරුවක් තියන කෙනෙක් තමයි එහෙම අහන්නේ. වෙනස පැහැදිලිව දකින්න තියෙනවා. ඒ අවශ්‍ය වෙනස පරිවර්තනය සංවර්ධනය තුළ පෙන්නුම් කරලා තිබෙනවා. මහ පාරේ යන විට ඔබ ඒ වෙනස දකිනවා. පොළොන්නරුව නව නගරයට ගියාම නව ඉදිකිරීම් මොනතරම්ද? නගර සභා කාර්යාලය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය, කෞතුකාගාරය, පුස්තකාලය වැනි මොනතරම් විශාල නව ඉදිකිරීම් නව නගරයේ පමණක් තිබෙනවද? පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පාසල් 242 ක්. ඒ 242 න් අද ‘‘පිබිදෙමු පොළොන්නරුව’’ වැඩසටහන යටතේ පාසල් 150 කට වැඩිය මේ වනවිට ව්‍යාපෘති අවසන් කරලා තිබෙනවා. ලබන අවුරුද්ද වන විට පාසල් 242 කම කිසිදු අඩුපාඩුවක් නැතිව මේ දිස්ත‍්‍රික්කයේ දරුවන්ගේ අනාගතය සඳහා අංගසම්පූර්ණ පාසල් බවට පත් වෙනවා. ඒ සියලූ කාර්යයන් අපි ඉෂ්ට කරලා තිබෙනවා.

පොළොන්නරුව මහ රෝහලේ ඉඳලා මේ දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය රෝහල්වලට ගියොත් ඔබ දකිනවා ඒ වෙනස කුමක්ද කියලා. වෛද්‍ය ක්ෂේත‍්‍රය, සෞඛ්‍ය ක්ෂේත‍්‍රය ගත්තොත් අපිට හොඳ වෛද්‍ය සේවයක් තිබෙනවා. හොඳ වෛද්‍යවරු ඉන්නවා. අපිට හොඳ හෙද සේවයක් තිබෙනවා. අපිට හොඳ පරපූරක වෛද්‍ය සේවයක් තිබෙනවා. අපිට හොඳ අතුරු වෛද්‍ය සේවාවක් තිබෙනවා. මුළු ලෝකයේම ගෞරවයට පාත‍්‍ර වුණු ගුණාත්මකභාවයෙන් සහ උසස් ප‍්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් අපිට තිබෙනවා. ඒ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න රාජිත සේනාරත්න ඇමතිතුමාගේ නායකත්වය තුළ නිදහස් සෞඛ්‍ය සේවාවට දිය හැකි සෑම උදව්වක් උපකාරයක්ම කරලා තිබෙනවා. මේ ගෙවී ගිය වසර තුන මේ රටේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල පරිවර්තනයකට ලක්වුණු ක්ෂේත‍්‍රයක්. නිදහස් සෞඛ්‍ය සේවාවට තිබුණු බොහෝ බාධාවන් ඉවත් කරලා අවශ්‍ය සම්පත් ලබාදීලා මීට පෙර කිසිම රජයක් ලබා නොදුන්නු මුදල් ලබාදීලා මේ අවුරුදු තුන තුළ මේ රටේ සෞඛ්‍ය සේවය ප‍්‍රබල වෙනස්කම් රාශියකට භාජනය කරලා තිබෙනවා. ඒ වෙනස්කම් කුමන ආකාරයෙන් සිද්ධ කරලා තිබෙනවද කියලා සෞඛ්‍ය ඇමතිතුමා ඔබට පැහැදිලි කළා. බෙහෙත් මිල අඩු කරලා අනිකුත් විවිධ ක්ෂේත‍්‍රවල පහසුකම් එක්ක තවත් පැත්තකින් නව ගොඩනැගිලි, නව තාක්ෂණික උපකරණ, මානව සම්පත් මේ සියල්ල කිසිම කාලයක නැති විදියට සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරලා තිබෙනවා. සෞඛ්‍ය ඇමතිවරයා විදියට අවුරුදු 05 ක මගේ අත්දැකීම්වලදි එදා මම දුටු සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ අඩුපාඩු, ගැටලූ සහ ප‍්‍රශ්න, සම්පත් හිගය ඒවා ඒ කාලය තුළ අවශ්‍ය විදියට වෙනස් කර ගන්න මට ඉඩකඩක් තිබුණේ නැහැ. මම සෞඛ්‍ය ඇමතිවරයෙක් විදියට බොහෝ මානසික පීඩාවන් සමග වැඩ කළේ. අමාත්‍යාංශයේ ලේකම්වරයා මාත් එක්ක වැඩකරන කෙනෙක් නෙවෙයි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එදා මාත් එක්ක වැඩ කළ කෙනෙක් නෙවෙයි. ඔවුන් ඒ තනතුරුවල හිටියත් මම කියන දේ අහන්නේ නැතිව වෙනත් අය කියන විදියටයි හැසිරුණේ. ඒ අභියෝග මැද්දේ මම ඒ අවුරුදු පහෙත් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න මට කළ හැකි උපරිම සේවාව ඉෂ්ට කළා. ඒ ඇතිවුණු දැඩි පීඩාව, ඒ ඇති වුණු හිතේ වේදනාවන් ඇතුළු අභියෝග සහ ගැටලූත් එක්ක මම ජනාධිපති ධුරයට පත් වුණාට පස්සේ මම ගත්ත තීන්දුව තමයි මම සෞඛ්‍ය ඇමතිවරයෙක් විදියට විඳපු ඒ අත්දැකීම් සහ ඛේදජනක තත්ත්වය මේ රටේ කිසිදු සෞඛ්‍ය ඇමතිවරයෙකුට සිදු නොවේවා කියලා වගේම මගේ ආණ්ඩුව තුළ මගේ සෞඛ්‍ය ඇමතිතුමාට නිදහසේ වැඩ කරන්න තීන්දු ගන්න අවශ්‍ය සියලූ බලතල දීලා අවශ්‍ය සම්පත් දීලා මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව ශක්තිමත් කරන්න කටයුතු කරලා තිබෙනවා. ඒ පරිවර්තනයන් සිදුවෙමින් යනවා. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ වගේම රට වශයෙන් කළ යුතු වෙනස්කම් කරමින් තිබෙනවා. රටක් විදියට තිබෙන බොහෝ අභියෝගවලදි ආර්ථිකය වෙන්න පුළුවන් ජාත්‍යන්තර වශයෙන් තිබෙන ප‍්‍රශ්න වෙන්න පුළුවන් වෙනත් විවිධ බාධාවන් සහ ගැටලූ වෙන්න පුළුවන්. ඒ සියල්ල තුළ ගෙවී ගිය අවුරුදු 03 ක කරන ලද කාර්යයන් සමග යහපත් සුබවාදී අනාගතයක් සඳහා ඒ අවශ්‍ය ගමන්මග අපි සකස් කරලා තිබෙනවා. මිනිසුන්ට නිදහසේ පාරේ යන්න, නිදහසේ කතා කරන්න, නිදහසේ ලියන්න, නිදහසේ මාධ්‍ය හසුරුවන්න, ඒ සියල්ල අද සහතික කරලා තිබෙනවා. මේ අවුරුදු 03 ක කාලය ගත්තහම මාධ්‍ය ආයතන ගිනිගත්තේ නැහැ. මාධ්‍යවේදීන්ගේ ජීවිත ඝාතනය වුණේ නැහැ. මාධ්‍යවේදීන් රට හැරලා ගියේ නැහැ. මේ රටේ ව්‍යාපාරිකයින්ගේ ඉඳලා ඒ සෑම ක්ෂේත‍්‍රයකම කටයුතු කරන සෑම කෙනෙකුටම නිදහසේ කටයුතු කිරීමේ පසුබිමක් පරිසරයක් අපි ගොඩනගලා තිබෙනවා.

මේ සියලූ තත්ත්වයන් සමග අපි වැඩ කරගෙන යාමේදී අපේ මැති ඇමතිවරු වගේම රාජ්‍ය නිලධාරීන් සෑම කෙනෙක්ම ලබාදෙන සහයෝගය අපි ඉතාමත් අගය කරන්නට ඕනෑ. ජනතාවගේ පැත්තෙන් ගත් විට පසුගිය අවුරුදු එකහමාරක් දෙකක් දැඩි නියං තත්ත්වයකට මුහුණ දුන්නා. මේ රටේ තුනෙන් දෙකක ප‍්‍රදේශයක් මේ නියං තත්ත්වය තුළ ආර්ථික අමාරුකම්වලට මුහුණ දුන්නා. ඒ තුළ සහල් පිටරටින් ගෙන්වන්න සිද්ධ වුණා. එහෙම වුණේ මේ දැඩි නියං තත්ත්වය නිසයි. අද පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පරාක‍්‍රම සමුද්‍ර ව්‍යාපාරයේ ජනතාවට මහවැලි ව්‍යාපාරය තුළ ජල ප‍්‍රශ්නය නොතිබුණත් තවමත් කඩුඩුල්ල, මින්නේරිය, ගිරිතලේ ජලාශවල ගොවීන්ට ප‍්‍රශ්න තිබෙනවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කය ගත්තහම තවමත් ජලය පිළිබඳව බරපතළ ප‍්‍රශ්න තිබෙනවා. රටේ එක් ප‍්‍රදේශයක ගංවතුර, තවත් ප‍්‍රදේශයක නියගය. මේ තත්ත්වය අපිට විතරක් සීමා වුණු දෙයක් නොවෙයි. ලෝකයේ අනිකුත් රටවල්වල පාරිසරික වෙනස්කම්, කාලගුණික සහ දේශගුණික වෙනස්කම් සමග මොනතරම් බරපතළ ඛේදනීය තත්ත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙලා තිබෙනවද? ඔබ දකින්නට ඇති පසුගිය කාලය තුළ ඇමරිකාවේ සියලූම ප‍්‍රාන්තවල ඇතිවුණු ගංවතුර, සුළිසුළං, නියග ඒවගේම ලැව් ගිනි මොනතරම් බරපතළ තත්ත්වයක් ගත්තද? අසල්වැසි දකුණු ඉන්දියාවේ බොන්න වතුර නැතිව ලක්ෂ ගණනක් විඳින දුක ඔබ මාධ්‍ය තුළ දකින්න ඇති. ඒවගේම දැන් මාසයකට විතර කලින් චීනයේ විශාල භූමිකම්පාවක් ඇති වුණා. මුළුමහත් මානව ඉතිහාසය තුළ මිනිස්සු හැමවිටම සටන් කරලා තිබෙන්නේ ස්වභාවධර්මයා සමගයි. ස්වභාවධර්මයා සමග සටන් කිරීම තමයි මිනිසුන්ගේ පළවෙනි කාර්යය සිද්ධ වුණේ. වනචාරි යුගයේ, ගල් යුගයේ මිනිස්සු ජීවත්වෙන්න, ආහාර සොයාගන්න, සෞඛ්‍ය පහසුකම් හදා ගන්න ස්වභාවධර්මයා සමග සටන් කළේ. ඒ සටන්වල ප‍්‍රතිඵල විදියට තමයි මිනිසාගේ දියුණුව ඇති වෙලා අද අධි තාක්ෂණික ලෝකයක තමුන්නාන්සේලා අපි ජීවත් වෙන්නේ. තාක්ෂණයෙන් කොතෙක් ශක්තිමත් වුණත් අධි තාක්ෂණය මොනතරම් දියුණු වුණත් ස්වභාවධර්මයාගෙන් ඇතිවන අභියෝගවලදි අපිට ඒවා පාලනය කළ නොහැකි තත්ත්වයන් තිබෙනවා. මේ ලැබෙන වර්ෂාවත් සමග නියගය අවසන් වෙලා ජලය ලැබිලා අපේ ප‍්‍රදේශ සශ‍්‍රික වෙලා සමෘද්ධිමත් වෙලා අපේ ගොවි ජනතාවගේ ජීවිත යහපත් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඒවගේම මේ රටේ සමස්ත ජනතාවට යහපත් ආර්ථිකයක් සමග සමෘද්ධිමත් අනාගතයක් සඳහා අවශ්‍ය පසුබිම ගොඩනැගෙන බව අපි බොහෝ විට විශ්වාස කරනවා.

දැන් දවස් දෙකකට කලින් මොරගහකන්ද ජලාශයේ විදුලිබල උත්පාදනය සඳහා මෙගා වොට් 25 ක් ජාතික විදුලිබල පද්ධතියට අපි එක් කරනු ලැබුවා. මොරගහකන්ද කළු ගග පිළිබඳව වසර 60 ක සිහිනය සහ රජරට ජනතාවගේ කඳුළු කතාව මේ වකුගඩු රෝගය වගේම තමයි. වකුගඩු රෝගය හැඳින්වූයෙත් රජරට වකුගඩු රෝගය කියලා. මොරගහකන්ද ජලාශය පිළිබඳව වතුර නැතිව ඉල්ලා හඬන කතාව අවුරුදු 60 කට 70 කට එහා ඉඳලා රජරට දුක්විඳින ගොවි ජනතාවගේ ජලය ඉල්ලා අඬන මොරගහකන්ද ජලාශයේ කතාව බවට පත් වෙලා තිබෙනවා. මොරගහකන්ද ජලාශයෙන් වතුර ඉල්ලා හඬන අවුරුදු 50 ක 60 ක කතාවත් මේ වකුගඩු රෝගය ආරම්භය පිළිබඳව කතාවත් මේ කාරණා දෙක ගත් විට ඒ දෙකෙහි බොහෝ සම්බන්ධතාවයන් තිබෙනවා. ජල හිගය ජල ප‍්‍රශ්නය ඒ තුළ ජනතාවට අවශ්‍ය පිරිසිදු ජලය ලබා ගැනීමට නොහැකි වීම, විද්‍යාත්මක පර්යේෂණ තුළ කියන කෘෂි රසායනික ද්‍රව්‍ය මුල්කර ගත් වකුගඩු රෝගය ඇති වීමට තිබෙන තත්ත්වයන් මේ සියල්ල එක සමාන කරුණු බවට පත් වෙලා තිබෙනවා. මොරගහකන්ද ජලාශයේ මේ ඇතිවුණු නව පිබිදීමත් සමග රජරට ප‍්‍රදේශය ප‍්‍රමුඛව වියළි කලාපයට ජල හිගය සම්පූර්ණයෙන් ඉවත් වන නිසා නව යුගයක් නව පරිවර්තයනයක් එක්ක අපිට හොඳ අනාගතයකට කටයුතු කරන්න පුළුවන් කියලා මා විශ්වාස කරනවා. අද මේ වනවිට මොරගහකන්ද ජලාශයේ සියයට 72 ක් පමණ ජලය පිරී තිබෙනවා. මේ මාසය වන විට මම හිතනවා 100% ජලය ලැබේවි කියලා. ඉන්පසුව අනුරාධපුර, පොළොන්නරුව, ත‍්‍රිකුණාමල ජනතාවට ප‍්‍රධාන වශයෙන්ම කෘෂි කර්මාන්තය සඳහා කන්න දෙක වැඩ කරන්න ජලය පිළිබඳව ප‍්‍රශ්නයක් ඇති නොවන බව නම් බොහෝම පැහැදිලියි. විශ්වාසයි කියන එක ඉතාම සතුටින් තමුන්නාන්සේලාට ප‍්‍රකාශ කරන්නට ඕනෑ.

ඔබ දන්නවා පොළොන්නරුව දිස්ත‍්‍රික්කය සඳහා ජල සම්පාදන මණ්ඩලය යටතේ නව යෝජනා රාශියක් ආරම්භ කරලා තිබෙනවා. ක‍්‍රියාත්මක වෙලා තිබෙනවා. ඒ වගේම වකුගඩු රෝගීන් සිටින ගම්මානවල ජල පෙරණ යන්ත‍්‍ර අපි සල්ලි දීලා නාවික හමුදාව මගින් ඒ යන්ත‍්‍ර සකස් කරලා ඒ ගම්මානවලට දීලා ඒ කටයුතු සාර්ථකව කරගෙන යනවා. වන්දනීය පූජනීය ගෞරවනීය මහා සංඝරත්නය ඒවගේම අනිකුත් පූජකතුමන්ලාට මගේ ගෞරවය සහ ස්තූතිය පුද කරනවා. සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා, අමාත්‍යාංශය ලේකම්තුමන්ලා ඇතුළු ඒ කාර්ය මණ්ඩල විශේෂයෙන්ම පොළොන්නරුව රෝහලේ අධ්‍යක්ෂතුමා ඇතුළු කාර්යය මණ්ඩලය මේ රෝහල ඉදිකිරීමේ කටයුතු වලදි මේ වැඩසටහන්වලදි දක්වන සහයෝගය කැපවීම මා ඉතාමත් අගය කරනවා. ඒවගේම සහභාගි වෙලා සිටින අනිකුත් සියලූ රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන්, ප‍්‍රදේශයේ ආදරණීය ජනතාව ඔබ සෑම කෙනෙක්ම එක්ව අපේ ප‍්‍රදේශය, අපේ රට, අපේ ගම, අපේ නගරය මේ සියල්ල පුළුල් සංවර්ධනයකට ලක් කරමින් අද දවසට වඩා හෙට දවස වාසනාවන්ත කරන්න අපි සියලූදෙනා සහෝදරත්වයෙන් බැඳීමකින් එක්ව කටයුතු කරමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් නැවත වතාවක් චීන රජයට, චීන ජනාධිපතිතුමාට, චීනයේ ජනතාවට, මේ කටයුතු වඩාත් කාර්යක්ෂමව ඉෂ්ට කරන්න විශාල සහයෝගයක් ලබාදුන්න ශ‍්‍රී ලංකාවේ චීන තානාපතිතුමා ඇතුළු ඒ කාර්යමණ්ඩලයට මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා”.

Related posts

භාවිතයට නුසුදුසු මෙට්ට තොගයක් සහිත කන්ටේනර් 65 ක් රේගුව භාරයට

Mohamed Dilsad

වෛද්‍යවරුන්ගේ දීමනා ඉහළට

Mohamed Dilsad

කෝටි හතක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment