ප්‍රමුඛ පුවත 1

පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වාර්තාවක් ජනපති ඉල්ලයි

(UTV| කොළඹ) – පානීය ජල බෝතල්වල මිල සහ ප‍්‍රමිතිය පිළිබඳ වහාම වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් දෙයි.

දිස්ති‍්‍රක්ක කිහිපයකට බලපා ඇති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් මතුව ඇති පානීය ජල ගැටලුව හමුවේ ඇතැම් ව්‍යාපාරිකයින් විසින් ප‍්‍රමිතියෙන් තොරව සහ අධික මිල ගණන් යටතේ පානීය ජල බෝතල් අලෙවිකිරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දෙනු ලැබීය.

දැඩි වියළි කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් (05)දින  දහවල් ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

වියළි කාලගුණික තත්ත්වය මේ වන විට දිවයිනේ දිස්ති‍්‍රක්ක 09 කට පමණ බලපා ඇති අතර කුරුණෑගල, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, අනුරාධපුරය, මහනුවර, මන්නාරම, යාපනය, වව්නියාව යන දිස්ති‍්‍රක්කවල පවුල් 143,235 ක් පමණ ඉන් පීඩාවට පත්ව සිටී.

ඔවුන්ට අවශ්‍ය පානීය ජල පහසුකම් සහ සෙසු ජල පහසුකම් සපයාදීම, වියළි සළාක ලබාදීමේ වැඩසටහනේ ප‍්‍රගතිය සහ කි‍්‍රයාකාරිත්වය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්විය.

ජලය ලබාගත හැකි මූලාශ‍්‍රයන් ප‍්‍රමාණාත්මකව සීමා සහිත වීම සහ ඒවායේ ජලධාරිතාවන් අවම මට්ටමක පැවතීම, වන සතුන්ගේ ජල අවශ්‍යතාවයන් සඳහා ප‍්‍රමාණවත් ජලය නොලැබීම සහ වන සතුන්ගෙන් ජනතාවට හා දේපලවලට සිදුවන හානි වැඩිවීම, විදුලි උත්පාදනය සඳහා වන බලපෑම, ආහාර සුරක්ෂිතතාවයට ඇතිවිය හැකි බලපෑම් යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු කෙරිණි.

අදාළ ප‍්‍රදේශවල ස්ථාපිත කර ඇති නළ ළිං අලුත්වැඩියා කිරීම සහ කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කිරීම පිළිබඳ ගොවි සංවිධාන හරහා ගොවි ජනතාව දැනුවත් කිරීම වැනි කෙටිකාලීන වැඩසටහන් කි‍්‍රයාවට නැංවීමේ වැදගත්කම ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.

වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් කෘෂිකාර්මික හා කෘෂිකාර්මික කම්කරු පවුල්වල ජනතාවගේ ජීවන තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි කි‍්‍රයාත්මක නියං සහනාධාර වැඩසටහනේ ප‍්‍රගතිය සහ කි‍්‍රයාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු පිළිබඳව ද අවධානය යොමු විය.

අමාත්‍යවරුන් වන අනුර පි‍්‍රයදර්ශන යාපා, සජිත් පේ‍්‍රමදාස, නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු සහ දිස්ති‍්‍රක් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 [alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පොලිසියට එරෙහි පැමිණිලි අද සිට භාර ගැනේ

Mohamed Dilsad

ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුට තුවාල

Mohamed Dilsad

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති ඇප මත නිදහස්

Mohamed Dilsad

Leave a Comment