ප්‍රමුඛ පුවත 1

මිනිස් නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් ලේ දහදිය වැගිරූ සමස්ත කම්කරු ජනයා වෙත ජනපතිගේ උත්තමාචාරය

(UTV| කොළඹ) – මිනිස් ශිෂ්ටාචාරය ගොඩනැගුණේ අභියෝග හමුවේ නොසැලුණු මිනිස් ශ්‍රමයෙන් බවත් සුළුතර සමාජ පන්තියක හෝ කණ්ඩායමක අඩස්සියට පත් ශිෂ්ටාචාරයේ එම අසිරිමත් සොයාගැනීම් පොදු මිනිස් අයිතියක් බවට හැරවුණේ ද නිදහස උදෙසා නොනැවතී අරගල කළ මිනිස් පවුරෙහි ජවයෙන් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පණිවුඩයක් මඟින් සඳහන් කරයි.

වහල්බවේ යදම් කෙතරම් සවි ශක්තියෙන් යුතු වුව ද, නිදහස උදෙසා වන ඒකායන අධිෂ්ඨානය සහ සාමුහික මිනිස් ජවය ඉදිරියේ ඒ කවර වුව යදම් කඩා ඉහිරවිය හැකි බවට මිනිස් රුධිරයෙන් නොමැකෙන ලෙස සටහන්කොට තැබූ ඓතිහාසික චිකාගෝ හේමාර්කට් කම්කරු නැගිටීම මුල්කොට ගනිමින් සැමරෙන ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ. එදා මෙදා තුර මිනිස් නිදහස සහ අයිතිවාසිකම් වෙනුවෙන් ලේ දහදිය වැගිරූ සමස්ත කම්කරු ජනයා වෙත මාගේ ආචාරය පුදකරමිනි.

අද අප භුක්තිවිඳින ජීවිතයේ වට ප්‍රමාණය ඒ උත්තුංග මිනිසුන්ගේ ලේ දහදියෙන් පුළුල් වූවක් බව යළි යළි සිහිකැඳවා ගන්නට ජාත්‍යන්තර කම්කරු දිනය අපට බල කර සිටියි. දශක තුනක් පුරා දිග්ගැසුණු වාර්ගික ගැටුමකින් ද ඒකාධිපති රාජ්‍යයක් දක්වා විහිදුණු අත්තනෝමතික පාලනයකින් ද නිදහස්ව ශක්තිමත්, ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වෙත අප යන ගමනේ දී අත්හළ නොහැකි සහ අමතක කළ නොහැකි ලෙස ඉතිහාසය කියා දුන් මේ පාඩම් යළි ආවර්ජනය කිරීමට මැයි දිනය නිමිති සපයයි.

ශ්‍රී ලංකාව, වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධානවල එකඟතා සහ නිර්ණායක සමග සහයෝගයෙන් කටයුතු කරන රටකි.

වතුකරයේ ජනයාට නිවාස හිමිකම ලබාදීමට ද, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප් සීමාවන් නීතිගත කිරීමට ද, ගෘහ සේවය කම්කරු නීති යටතට පැමිණවීමට ද, ප්‍රසූත නිවාඩු සම්බන්ධයෙන් පවතින විෂමතා ඉවත් කිරීමට ද අප කටයුතු කරන්නේ එම එකඟතාවලට ගරු කරමින් ශ්‍රමයට හිමිවිය යුතු නිසි ගෞරවය ලබාදීම වෙනුවෙනි. රටක් ලෙස අප අත්කර ගත යුතු ආර්ථික සමෘද්ධිය වෙනුවෙන් සබුද්ධිකව, සාමුහිකව අරගල කරමින්, වාර්ගික හෝ ආගමික භේද ඉවත ලා පොදු මිනිස් නිදහස වෙනුවෙන් පෙළ ගැසුණු සමස්ත කම්කරු ජනයා වෙත මගේ ආචාරය පළ කරන අතර, ඔවුන්ගේ අරගලය වෙත මගේ උණුසුම් සුබපැතුම් එක් කරමි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මේ වසරේ පෙළ පොත් මුද්‍රණයේ දි වංචා රැසක් [VIDEO]

Mohamed Dilsad

SPC සේවකයින්ට මාස 03ක බෝනස් දීමනා …

Mohamed Dilsad

මහවැලිය – සංහිඳියාවේ ගංගාව” සහ “95න් පසු මහවැලි” ජනගත කිරීම අද ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment