ප්‍රමුඛ පුවත 1

ප්‍රමිතියෙන් තොර ගිනීකූරු සහ යකඩ කූරු තොගයක් අත්අඩංගුවට

(උදයම්,කොළඹ) –  ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කළ රුපියල් ලක්ෂ 95ට වඩා වටිනා ගිනිපෙට්ටි තොගයක් මහනුවර ස්ථාන දෙකකින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 12 (1) වගන්තියට අනුව 2012 ජනවාරි මස 27 වැනි දින නිකුත් කළ අංක 1742/27 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව ගිනි පෙට්ටි නිෂ්පාදනයේ දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරන එස්.එල්.එස්. සහතිකය ලබා තිබීම අනිවාර්ය වේ.
පේරාදෙණිය අලදෙණියේ ගිනිපෙට්ටි කර්මාන්තශාලාවක තිබී එස්.එල්.එස්. සහතිකය නොමැති ගිනිපෙට්ටි 720 බැගින් වූ ඇසුරුම් 2000ක් අත්අඩංගුවට ගෙන ඇත. එහි තිබී ගිනිපෙට්ටි සංඛ්‍යාව 1,440,000කි.එහි වෙළෙඳ වටිනාකම රුපියල් 8,640,000ක් බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මහනුවර පල්ලෙකැලේ ගිනි පෙට්ටි කර්මාන්තශාලාවක තිබී එස්.එල්.එස්. සහතිකය නොමැතිව නිෂ්පාදනය කළ ගිනිපෙට්ටි 150,000ක් අත්අඩංගුවට ගෙන ඇති අතර  එහි වටිනාකම රුපියල් 900,000කි.
මේ අතර ප්‍රමිති සහිතකය ලබා තිබුණ ද නිසි ප්‍රමිතියෙන් තොරව යකඩ කම්බි නිෂ්පාදනය කළ ගම්පහ කර්මාන්තශාලාවකට හා යකඩ අළෙවි සළකට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ගම්පහ කර්මාන්තශාලාවේ තිබී ටොන් අටක් බරැති ප්‍රමිතියෙන් තොර යකඩ කූරු තොගයක් අත් අඩංගුවට ගෙන ඇති අතර යකඩ කම්බි අළෙවි සැලේ තිබී ටොන් පහක් බරැති ප්‍රමිතියෙන් තොර යකඩ කූරු තොගයක් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම යකඩ තොගයේ තොග වටිනාකම රුපියල් ලක්ෂ 15ක් පමණ වේ.
ප්‍රමිති සහතිකය අනුව යකඩ කූරක නිශ්චිත බරක් තිබිය යුතුය. ඒ අනුව ටොන් එකකට තිබිය යුතු යකඩ කූරු ගණන නියතයක් බව ද පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් පවසයි. මෙම කර්මාන්ත ශාලාවේ සහ අළෙවි සැලේ යකඩ කූරු ටොන් එකකට තිබිය යුතු යකඩ කූරු ගණන කිරා බැලූ විට එහි බර ටොන් එකක් නොවූ බවත් ටොන් එකකට තිබිය යුතු යකඩ කූරු සංඛ්‍යාවට වඩා වැඩිපුර යකඩ කූරු සංඛ්‍යාවක් අඩංගුවන බවත් ඔවුහු කියති.
ඒ අනුව යකඩ කූරු තොග වලින් මීටරය බැගින් දිගැති කම්බි නියැදි කිහිපයක් ගෙන පරීක්ෂණ කටයුතු සඳහා යවා යකඩ කූරු තොග මුද්‍රා තැබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා පවසන්නේ ප්‍රමිතියෙන් තොර යකඩ කූරු නිෂ්පාදනය කළ ආයතනයට හා අළෙවි සැළට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.
කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ පැවසීය.‘‘පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ පැහැදිලිව සඳහන් කර තිබෙනවා මෙරට සිදුකරන නිෂ්පාදන සඳහා ප්‍රමිතියක් තිබිය යුතු දේවල් ගැන. ඇතැම් නිෂ්පාදකයන් හා ව්‍යාපාරිකයන් ප්‍රමිති සහතිකය අරගන්නවා. නමුත් පස්සේ මේ ප්‍රමිති සහතිකය භාවිතා කළත් ප්‍රමිතියකින් යුතුව නිෂ්පදානය හා අළෙවිය කරන්නේ නැහැ. අපි මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් පාරිභෝගිකයන් වෙනුවෙන් එවැනි ස්ථාන ගැන පරීක්ෂා කරලා නීතිමය පියවර ගැනීමට කටයුතු කරනවා. ඉදිරියේ දී තවත් මෙවැනි ස්ථාන සොයාබලා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි මා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිතුමාටත්, එහි නිලධාරීන්ටත් උපදෙස් දී තිබෙනවා.“

Related posts

ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුළු පිරිස කෝප් කමිටුව හමුවට…

Mohamed Dilsad

අසත්‍ය චෝදනා එල්ල කරන විපක්‍ෂ දේශපාලන නියෝජිතයින් ගැන ජනතාව තීරණයක් ගතයුතුයි – පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියයි(වීඩියෝ)

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නියෝජ්‍ය නායකයා පක්‍ෂයෙන් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment