ප්‍රමුඛ පුවත 1

ඉන්දීය අගමැති සහ ජනපති අතර සාකච්ඡා

(UTV| කොළඹ)  – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ විශේෂ ආරාධනය පරිදි දිවයිනට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ජනාධිපතිතුමා අතර නිල හමුව අද (09) දහවල් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ආචාර වෙඩිමුර සහිත හමුදා උත්තමාචාර පිළිගන්වමින් මහත් හරසරින් මෙම පිළිගැනීම සිදු විය.

දෙවන වරටත් ඉන්දීය අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් නරේන්ද්‍ර මෝදි මහතා ඉන් අනතුරුව පළමු රාජ්‍ය තාන්ත්‍රික හමුවට එක් වූයේ ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ වන අතර එම හමුවේ දී ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත මෙම නිල ආරාධනය පිළිගන්වනු ලැබීය.

එමෙන්ම පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදේශීය රාජ්‍ය නායකයා වන්නේ ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යි.

ජනාධිපති කාර්යාලයේ පැවති අභිමානවත් පිළිගැනීමේ උත්සවයෙන් අනතුරුව ජනාධිපති මන්දිරය වෙත පැමිණි නායක දෙපළ එහි දී සාකච්ඡාවලට එක් වූහ.

ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව රට තුළ නොසන්සුකාරී තත්ත්වයක් මතුව ඇති අවස්ථාවක තම රටට පැමිණ ලෝකයට ලබාදුන් පණිවිඩය පිළිබඳ මෙහි දී පළමුව ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ අසල්වාසී මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති ශක්තිමත් සහ විශ්වසනීය සබඳතාවය ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරයෙන් වඩාත් පිළිබිඹු වන බවයි.

එමෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ මෙම සංචාරය ශ්‍රී ලංකාවේ ආර්ථික, වෙළෙඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රවල උන්නතියට වඩා යහපත් තත්ත්වයක් වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙහි දී සඳහන් කළේ සහෝදර සහ මිත්‍ර රාජ්‍යයන් වල යුතුකම වන්නේ අසීරු අවස්ථාවල අත නොහැර එකිනෙකාට උපකාර කර ගැනීම බවයි.

ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස තමන්ට සිදු කළ ආරාධනය පිළිගත්තේ මහත් සතුටින් බව පැවසූ නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දියාව ශ්‍රී ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය ඉදිරියට ද එලෙසම බව කියා සිටියේය. එමෙන්ම සියලු පාර්ශ්වයන්ගේ සහය ඇතිව සියලු ජන කොටස් වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රට තුළ ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද නරේන්ද්‍ර මෝදි මහතා සිය සතුට පළ කළේය.

දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ඉහළ නංවාගැනීම සහ කලාපීය ආරක්ෂාව මෙන්ම සාමය සහ ස්ථාවරත්වය පිළිබඳව ද නායක දෙපළ අතර සාකච්ඡා වූහ.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටම ත්‍රස්ත ප්‍රහාරවලට ලක් වූ රටවල් වන අතර කුමන අන්දමේ හෝ ත්‍රස්ත ප්‍රහාරයක් තරයේ හෙළා දකින බව අවධාරණය කළ නායකයෝ ත්‍රස්තවාදය දුරලීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාව වැඩිදියුණු කළයුතු බවට ද එකඟ වූහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන ගැඹුරු මිත්‍රත්වය පදනම් වී ඇත්තේ අන්‍යෝන්‍ය විශ්වාසය, අන්‍යෝන්‍ය ගරුත්වය සහ එකිනෙකාට සහය දැක්වීමේ ප්‍රතිපත්තිය මත බව ද මෙහිදී සඳහන් කෙරිණි. දෙරට අතර එම සුවිශේෂී සහ සබඳතාවය ඉදිරියේ දී තවදුරටත් ශක්තිමත් කර ගැනීමට නායකයෝ එකඟ වූහ.

තමන් වෙත දැක්වූ උණුසුම් පිළිගැනීම සහ සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා වෙතත් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙතත් සිය ස්තූතිය පුද කිරීමට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙහිදී කටයුතු කළේය.

මේ අතර මෙම සංචාරය සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමට ද නායක දෙපළ එක් වූහ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ මෙම සංචාරය සිහිපත් කරමින් අද දින නායක දෙපළ ලබාගත් ඡායාරූපයක් සහ පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පදවි ප්‍රාප්ති උලෙළේ දී ලබාගත් විශේෂ ඡායාරූපයක් මෙහිදී ජනාධිපතිතුමා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගැන්වීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කළුතර කෙත්හේන පවිත්‍රාගාරයෙන් නිකුත් කෙරෙන ජලය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

ඉරානයේ පැවති ඔලිම්පියාඩ් තරගයෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වෙන්නැයි උපදෙස්

Mohamed Dilsad

Leave a Comment