(උයම්,කොළඹ) – කොදෙව් සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් විස්සයි විස්ස පිටියේ ලකුණු 10000 පසු කිරීමට සමත් වෙයි.
ඒ අනුව විස්සයි විස්ස පිටියේ ලකුණු දසදහසේ සීමාව පසු කළ පළමු ක්‍රීඩකයා ලෙසින් ඔහු ඊයේ ක්‍රිකට් ඉතිහාස පොතට එක්වූවා.
IPL තරඟාවලියේ ගුජරාට් ලයන්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති තරඟයේ රෝයල් චලෙන්ජෙර්ස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රිස් ගේල් තරඟයට එක්වූයේ සුපිරි පිතිකරු ඒ.බී.ඩි විලියර්ස් වෙනුවටය.
ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රෝයල් චලෙන්ජෙර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලෙස පිටියට පැමිණි ක්‍රිස් ගේල් තම සුපිරි ඉනිමට හතරේ පහර 5 ක් සහ හයේ පහර 7 ක් සමගින් ලකුණු 77 ක් රැස්කරගත්තේය.
ආරම්භක පිතිකරු යුගලය ලෙස පිටියට පිවිසි ගේල් සමඟ එක්වූ ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලිද ලකුණු 64 ක් රැස්කර ගත්තේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමඟින්.
රෝයල් චලෙන්ජෙර්ස් බැංගලෝර් කණ්ඩායමේ ආරම්භක සම්බන්ධතාව ලකුණු 122 ක් වූ අතර ඔවුන් කඩුලු 2 ක් දැවී ලකුණු 213 රැස්කළේය.මෙම ලකුණු ප්‍රමාණය මෙවර IPL තරඟයකදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු ප්‍රමාණයයි.
ලකුණු දසදහසේ සීමාව පසුකළ ක්‍රිස් ගේල් තරඟයේ වීරයාද විය.