(UTV | කොළඹ) – සමස් ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ඒ විල්පත්තු ජාතික වනෝද්‍යානය හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීම සඳහා ජනාධිපති කොමිසමක් පත්කිරීම සම්බන්ධයෙනි.
තමන්ව ඉලක්ක කරගනිමින් තමන් නොකරන ලද ක්‍රියා සම්බන්ධයෙන් විවිධ විද්‍යුත්, මුද්‍රිත හා සමාජ මාධ්‍ය ඔස්සේ සේම මහජනතාව අතරද පදනම් විරහිත අසත්‍ය චෝදනා ප්‍රචාරය කරයි.
මෙලෙස පටු දේශපාලනික අරමුණු ඉටු කර ගැනීමට හා ජාතිවාදය ඇවිලවීම සඳහා ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින මන්ත්‍රීවරයා එම ලිපිය මඟින් පෙන්වා දෙයි.
එම ලිපිය නව ජනාධිපතිවරයාට සුබ පැතුම්ද එක් කර ඇති මන්ත්‍රීවරයා රට තුළ සාමය සංහිදියාව ඇති කිරීමට කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් ස්තුතිය පල කර ඇත.
එම ලිපියේ වැඩි දුරටත් මෙසේ දැක්වේ.
” පසුගිය රජයේ අමාත්‍යධූරය හොබවමින් සිටියදීම මා ඉලක්ක කරගනිමින් චෝදනා එල්ල කිරීමට මෙම පිරිස් කටයුතු කළ අතර එම චෝදනා අතරින් විල්පත්තු රක්ෂිතය හෙලිකර මුස්ලිම් ජනයා පදිංචි කරවීම හා ත්‍රස්තවාදී සහරාන් සමග සම්බන්ධතා පැවැත්වීම යනාදිය මූලික වේ.
එම චෝදනා වචනයට පමණක් සීමා වී කිසිදු සත්‍යතාවයකින් හෝ වලංගු භාවයකින් තොර හුදෙක් පටු වාසි ලබාගැනීමේ අරමුණින් කල චෝදනාවන් බව ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.
තවද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට මා සම්බන්ධ බවට එල්ල වූ චෝදනා සදහාද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මගින් විමර්ෂණය කළ අතර පොලීසිය මගින් කල පරීක්ෂණ හමුවේද මා නිර්දෝශී බව පවසමින් එවකට සිටි වැඩබලන පොලිස්පතිවරයා විසින් ගරු කථානායකතුමා වෙත වාර්තාවක්ද ඉදිරිපත් කරන ලදි.
එහෙත් මේ පිරිස් විසින් මෙම මාතෘකාවන් නැවත නැවතත් වැරදි ආකාරයකට කරළියට ගෙනවිත් මේ සිදුකරමින් පවතින මඩ ව්‍යාපාරයෙන් අපහසුතාවයට පත්වන්නේ මාගේ අසරණ සමාජය බව දැන්වීමට කැමැත්තෙමි.
එකාමෙන් සමගියෙන් ජීවත්වන අපගේ මේ මාතෘ භූමියේ ආගම්, ජාති, කුල, බේද ඇති කර රට අස්ථාවර කිරීමේ උත්සාහයක මේ පිරිස යෙදෙන බවද ඔබතුමාට දැන්වීමට කැමැත්තෙමි.
තවද විල්පත්තු රක්ෂිතය තුළ රජයේ ඉඩම් කිසිවක් මාගේ බලය අයථා ලෙස භාවිතා කරමින් විනාශ කර නොමැති බව ඔබතුමාගේ විශේෂ අවධානයට යොමු කරවීමට කැමැත්තෙමි.
1990 වසරේ උතුරු ප්‍රදේශයෙන් අවතැන්වූ මුස්ලිම් ජනතාව හට 2009 වසරෙන් පසුව තම ගම්බිම් වල නැවත පදිංචි වීමේ අවස්ථාව උදාවූ අතර මෙම අවස්ථාව උදාකර දීම සදහා ඔබතුමා එවකට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් ලබාදුන් සහයෝගය මා ඉතාමත් කෘතඥපූර්වකව මතක් කිරීමට කැමැත්තෙමි.
වසර 30 ක පමණ කාලයක් මුළුල්ලේ අත්හැර දමා තිබූ මෙම ගම්බිම් වල් බිහිවී සුවිසල් වනයක් බවට පත්විය.
එබැවින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙය වන රක්ෂිතයක් වශයෙන් නම් කරන ලදි. නමුත් මෙහි යථාර්ථය අවබෝධ කරගත් එවකට සිටි අතිගරු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය විසින් ජනාධිපති විශේෂ කාර්ය සාධන බලකායක් පත්කර එමගින් මෙම ජනතාවගේ ඉඩම් හදුනාගෙන ක්‍රමානුකූලව ඔවුන්ව නැවත පදිංචි කරවීම සදහා කටයුතු කරන ලදි.
මෙම විල්පත්තු රක්ෂිතය සම්බන්ධයෙන් විවිධ වූ සාකච්ඡා හා රැස්වීම් සමාලෝචන ආදිය පවත්වා මෙහි සත්‍ය අවබෝධ කළ අතර පරිසරවේදීන් විසින්ද එය පිළිගන්නා ලදි.
කරණු මෙසේ තිබියදීත් දිගින් දිගටම මෙම සිද්ධිය පිළිබදව අසත්‍ය චෝදනා ඉදිරිපත් වෙමින් පවතින බැවින් එම චෝදනා වල සත්‍යතාවය රටට හෙලිකිරීම සදහාත් අප රටේ වටිනා ස්වභාවික සම්පතක් වු විල්පත්තු වනෝද්‍යානයට යම් හෙයකින් හෝ හානියක් වී ඇත්නම් ඒ සදහා වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා බැලීම සදහා ස්වාධීන ජනාධිපති කොමිසමක් පත්කර ඊට අදාල ක්‍රියාමාර්ග ගන්නා මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි.
තවද පසුගිය අප්‍රේල් 21 වන පාස්කු ඉරු දින මුලු මහත් ජනතාවම ශෝකයට පත්කරමින් සිදු වු ඒ කුරිරු ත්‍රස්ත ප්‍රහාරය සිදුකල ත්‍රස්තවාදීන් සමග මා සම්බන්ද යැයි පවසමින් කරන අසත්‍ය චෝදනා සම්බන්දයෙන් දැනටමත් පරීක්ෂණ පවත්වා මා නිවරැදි බවට තහවුරු වී ඇතත් අවශ්‍යනම් නැවත ජනාධිපති කොමිසමක් පත්කර එම ප්‍රහාරය සම්බන්දව විශේෂ පරීක්ෂණයක් කරන මෙන්ද ඉතාමත් ඕනෑකමින් ඉල්ලා සිටිමි. ”
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]