(UTV | කොළඹ) – රටට සත්‍යය හෙළි කිරීම සඳහා ප්‍රශ්නගත බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව මහබැංකුවේ හිටපු අධිපති සහ අගමැති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා අවධාරණය කරයි.
මෙම වංචාව සංවිධානාත්මක අපරාධයක් බව පෙන්වාදෙන ඒ මහතා හදිසියේ සිදුවූ දෙයක් නොවන අතර එය බොහොම සැලසුම් සහගතව සිදුකර තිබෙන බවද මේ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා විධිමත් පරීක්ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කරන බවද සදහන් කරයි.
අගමැති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක අජිත් නිවාඩ් කබ්රාල් මහතා මේ බව සදහන් කළේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (05) පෙරවරුවේ පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.
ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් කටයුතු කරන සමයේ දී බැඳුම්කර නිකුත් කිරීම් සම්බන්ධයෙන් මෙන්ම එයින් අනතුරුව කායේ දී සිදුවී වංචා සහගත බැඳුම්කර නිකුත් කිරීම් ආදිය සිදුව තිබෙන ආකාරය සහ ඒ හරහා රටට සිදුව තිබෙන අලාභය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් මාධ්‍ය වෙත කරුණු ඉදිරිපත් කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ බැඳුම්කර සිදුවීම් සම්බන්ධයෙන් වෝහාරික විගණන වාර්තා පහක් මේ වනවිට එළිදක්වා තිබෙන බවත් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් හෙළිවූ විගස එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තම පක්ෂයේම නීතීඥයින් තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත්කිරීමට පියවර ගත් බවත්ය. කෙසේ වුවද මේ සිදුවීම සම්බන්ධයෙන් ඩීව් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කෝප් කමිටුව විසින් හොඳින් කටයුතු කරගෙන ගිය නමුත් එහි වාර්තාව එළිදැක්වීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගත් බවද ඒ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නොතිබූ බවද හෙතෙම පෙන්වා දුන්නේය.
කෙසේ වුවද බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත්කරන ලද කමිටුව හරහා කිසිඳු අවස්ථාවක සාධාරණයක් ඉටුනොවන බවද පෙන්වාදුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ සිදුවූ විශාලතම මූල්‍ය වංචාව සම්බන්ධයෙන් වසර දෙකක කාලයක් කිසිවක් සිදුනොවුණු නමුත් මෙහි මහ මොළකරුවන් සුද්ද කිරීම සඳහා සෑම අවස්ථාවකම උත්සාහ ගෙන තිබෙන බවද හොරාව ඇල්ලීම සඳහා වෑයම් නොකළ බවද පැවසීය.
බැඳුම්කර කොමිෂන් වාර්තාව සඳහා මහ බැංකුවේ හිටපු අධිපතිවරයාගේ ලිපිය ඇතුළත් කිරීමට අමතක වූ බව සදහන් කළ ඒ මහතා වෝහාරික විගණනය සිදුකර තිබෙන්නේ මුදල් මණ්ඩලය විසින් වන නමුත් එවැන්නක් සිදුකළ යුත්තේ විගණාකාධිපති දෙපාර්තමේන්තුව විසින් බවද එවකට මුදල් මණ්ඩලයේ සිටි පිරිස දෙස බලනවිට හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් වැනි යැයි ද සදහන් කළේය. ඉන්දීය සමාගම් දෙකක් වන කේ.පී.එම්.ජී සහ බී.ඩී.ඕ සමාගම් සඳහා රුපියල් මිලියන 270 ක මුදලක් ගෙවා වෝහාරික විගණනය සිදුකර තිබෙන නමුත් එම සමාගම් සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වී තිබෙන බවද කීවේය.
තම කාලයේ දී බැඳුම්කර නිකුත් කිරීමේ දී රුපියල් බිලියන 10.4ක පාඩුවක් සිදුව තිබෙන බවට මේ වාර්තාව මඟින් පෙන්වා දී තිබෙන නමුත් රුපියල් මිලියන 5,622 ක බැඳුම්කර නිකුත්කර තිබෙන බවද එම කාලයේ දී ගණුදෙනු 4,670ක ප්‍රමාණයක් සිදුව තිබෙන බවද පෙන්වා දුන් අජිත් නිවාඩ් කබ්රාල් මහතා එම කාලයේ ගණුදෙනු 1,105 කින් මූලික මිලට වඩා අඩුවෙන් නිකුත්කිරීම හේතුවෙන් පාඩු සිදුව තිබෙන බවට අනාවරණය කර තිබෙන නමුත් මූලික මිල ගණන් වලට වඩා වැඩි මිල ගණ්වලට බැඳුම්කර නිකුත් කරන ලද ගණුදෙනු 2,783කින් රටට හිමිවූ ලාභය සම්බන්ධයෙන් කිසිඳු සඳහනක් නොමැති බවද පෙන්වා දුන්නේය.
තමා මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් සිටිය දී සිදුකරන ලද සෑම බැඳුම්කර නිකුතුවක්ම මුදල් මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුව තිබෙන අතර තමා මෙන් සෙසු අයද ඒ සඳහා එකඟ වී තිබෙන බව පවසන ඒ මහතා එවකට මුදල් මණ්ඩලයේ සාමාජිකයන් විශිෂ්ඨයන් බවද ඔවුන් සියලු දෙනා රට වෙනුවෙන් සද්භාවයෙන් කටයුතු කර තිබෙන බවද පැවසීය. මේ අතර ඒ මහතා පෙන්වා දුන්නේ තමාගේ පවුලේ සාමාජිකයන් සම්බන්ධයෙන් විවිධ විවේචන තිබෙන නමුත් ඔවුන් කිසිවෙකු තමා විසින් එක් එක් ආයතන වෙත පත්කිරීම් කර නොමැති බවත් ඒ කිසිවෙකු බැඳුම්කර වංචාවන්ට හවුල් නොමැති නමුත් බැඳුම්කර සිද්ධියට සම්බන්ධයෙන් එකම එක ඥාතියා වන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් කතා කිරීමට සිදුවීම ලැජ්ජාවට කරුණක් බවත්ය.
තම කාලයේ දී බැඳුම්කර නිකුත් කිරීමේ දී කිසිඳ වංචාවක් සිදුව නොමැති බව පවසන අජිත් නිවාඩ් කබ්රාල් මහතා වත්මන් රජය අපහසුතාවයට පත්කරන්න ඇතැමුන් උත්සාහ කරන බවද පසුගිය කාලයේ නිකුත්කර තිබෙන වෝහාරික විගණන වාර්තා මූලික සිද්ධාන්ත උල්ලංඝනය කර තිබෙන බවද විගණනයක් සිදුවිය යුත්තේ ස්වාධීනව බවද කී ඒ මහතා එසේ නොවන්නේ නම් එහි කටයුතු නීති විරෝධී වන බවද පෙන්වා දුන්නේය. පසුගිය වසර 18ක කාලයේ දී මේ රටේ බැඳුම්කර නිකුත් කිරීම් සිදුව තිබෙන නමුත් එම ක්‍රමවේදය ක්ෂණිකව වෙනස් කිරීමෙන් මෙම වංචාව සිදුව තිබෙන බවද කීවේය.