දේශීය

අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි චක්‍රලේඛයකින් දැනුම් දෙයි

(UTV | කොළඹ) –  ඇතිව තිබෙන තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට පියවර ගන්නැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සියලුම රාජ්‍ය නිළධාරීන්ට දැනුම් දෙයි.

ආහාර , ඖෂධ , ජලය , විදුලිය , සෞඛ්‍ය සේවා මෙන්ම ජාත්‍යන්තර බැංකු සේවා ඇතුලු අත්‍යවශ්‍ය සේවා ඊට යටත්වන බව අමාත්‍යංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන් , ප්‍රධාන ලේකම්වරුන් , දිස්ත්‍රික් ලේකම්වරුන් , දෙපාර්තමේන්තු ප්‍රධානීන් , සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් , ප්‍රාදේශීය ලේකම්වරුන් හා ග්‍රාම නිලධාරීන් වෙත යවා ඇති චක්‍රලේඛයක දැක්වෙයි.

වෛරසය ව්‍යාප්තිය වළක්වාගැනීම සඳහා ගත යුතු පියවර රැසක්ද එම චක්‍රලේඛයේ අන්තර්ගතව ඇත.

සිවිල් ආරක්ෂක කමිටු මට්ටමින් රෝග මර්දනයට පියවර ගැනීම හා මෙහෙයුම් කටයුතු සඳහා ආරක්ෂක අංශවලද සහය ගැනීම , කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සැක සහිත පුද්ගලයන් වෙතොත් ආරක්ෂක අංශවල සහය ඇතිව නිරෝධායන කටයුතුවලට යොමු කිරීම ඒ අතර වෙයි.

විවිධ රාජකාරී කටයුතු සඳහා රාජ්‍ය ආයතනවලට පැමිණෙන මහජනතාව අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද මහජන දිනය වන බදාදා දිනවලදී කාර්යාලවලට පැමිණෙන මහජනතාව අවම කරගැනීමට දුරකථන –ඊ මේල් වැනි මාධ්‍ය ඔස්සේ මහජන ගැටළු නිරාකරණයට කටයුතු කරන්නැයි ද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා දැනුම් දී තිබේ.

කොරෝනා රෝග තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වුවහොත් රජයේ කාර්යාලවල කටයුතු සීමා කිරීමට සිදුවිය හැකි බවද එහිදී අත්‍යවශ්‍ය සහයක නිළධාරීන් පමණක් කාර්යාල වෙත වාර්තා කිරීමට කටයුතු කිරීම තුළින් රෝග තත්ත්වය පාලනය කරගත හැකි බවද එහි සඳහන් වෙයි.

ජාතික උවදුරකදී අසත්‍ය ප්‍රචාර පතුරුවන්නන් පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙසට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කල චක්‍රලේඛයේ දක්වා ඇත.

Related posts

ඉන්ධන ලැබුණහොත් අද – හෙට විදුලි කප්පාදු නෑ

Mohamed Dilsad

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් සියයට 0.1% කි න් අඩුවෙයි

Editor O

ගතවු පැය 24 තුළ යුක්තිය මෙහෙයුම හරහා දහසකට වැඩි පිරිසක් කොටු

Mohamed Dilsad

Leave a Comment