(UTV | කොවිඩ් 19) – දිවයින පුරා පවතින ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු වෛරසය පාලනයට සහය වන අයුරින් අවම පිරිසකගේ සහභාගිත්වයෙන් අත්‍යාවශ්‍ය සේවා විධිමත්ව පවත්වාගෙන යාමට පියවර ගත යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ඒ අත්‍යාවශ්‍ය සේවා සපයන ප්‍රධාන අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් සමග අද (21) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
එසේම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සේවා ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට සහායවන ආකාරයෙන් සැලසුම් කරන ලෙස ද ජනපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
මේ අතර සේවකයන් රාජකාරී සඳහා කැඳවීමේදී අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව උපදෙස් දුන් ජනපතිවරයා මේ වනවිට පනවා ඇති නිර්දේශ අනුගමනය කරමින් සේවකයන් කැඳවීම ආයතන ප්‍රධානීන් විසින් තීරණය කළයුතු බව සඳහන් කර තිබෙනවා.
ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් ගොවි අස්වනු ග්‍රාමීය ප්‍රදේශවල සිට නගරයට ගෙන ඒමට පියවර ගැනීමෙන් ගොවීන්ට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා ප්‍රකාශ කළා.
කොරෝනා වෛරසය මර්දනයට රජය විධිමත් වැඩපිළිවෙළක් අනුගමනය කළ ද ජනතාව උපදෙස් නිසි පරිදි පිළි නොපැදීම, තත්ත්වය පාලනයට බාධාවක් වී ඇති බවද එහිදී සඳහන් වූවා.
ජන ජිවිතය යථා තත්ත්වයට පත් කිරීමේ අරමුණින් ඇඳිරි නීතිය ලිහිල් කර සේවාවන් පවත්වාගෙන යාමේ දී ද වෛරසය පාලනය වන අයුරින් කටයුතු සිදුවිය යුතු බව ජනාධිපතිතුමා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත.