දේශීය

කොරෝනා මර්දන වැඩපිළිවෙළ ගැන ජනපති මහා සංඝරත්නය දැනුවත් කරයි

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය මර්දනයට රජය ගෙන යන වැඩපිළිවෙළ සහ වත්මන් තත්ත්වය පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ත්‍රෛනිකායික මහා සංඝරත්නය දැනුවත් කිරීමට පියවර ගත්තේය.

එහිදී කොරෝනා වෛරසය පාලනය, නිරෝධායන ක්‍රියාවලිය, ජනතාවට දුන් සහන සහ ඉදිරියේ දී දේශීය ආර්ථිකය ගොඩනැගීමට ගෙන ඇති තීරණ ජනාධිපතිතුමා පැහැදිළි කළ අතර , රට මුහුණ දී ඇති අභියෝග හමුවේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ මෙන්ම සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ඇතුළු සියලු පාර්ශ්වයන් දුන් සහාය අතිමහත් බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

තමාට විශිෂ්ට ජනවරමක් දෙමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේ දී ශක්තිමත් පාර්ලිමේන්තුවක අවශ්‍යතාව පැහැදිළි කළ ජනාධිපතිතුමා අභිනව පාර්ලිමේන්තුවක් කැඳවීම විනා පැරණි පාර්ලිමේන්තුව කැඳවීමේ බලයක් ව්‍යවස්ථානුකූලව නොමැති බව ද පෙන්වා දුන්නේය.

සෑම මසකම තුන්වැනි සතියේ සිකුරාදා මහා සංඝරත්නය හමුවීමට තමා අපේක්ෂා කරන බව පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ත්‍රෛනිකායික මහා සංඝරත්නයට ඇරයුම් කළේය.

සමස්ත  මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙළට  හිමිවන බව මෙහිදී අදහස් දැක්වූ ත්‍රෛනිකායික නායක හිමිවරු සඳහන් කළහ.

පරණ පාර්ලිමේන්තුව නැවත කැඳවා රට උභතෝකෝටික තත්ත්වයකට පත් නොකළ යුතු බවත්, පරණ පාර්ලිමේන්තුව නොකැඳවීම මහා සංඝරත්නයේ ඒකමතික තීරණය බවත් මහා සංඝරත්නය අවධාරණය කළහ.

Related posts

ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ගැන විශේෂ තීරණයක්

Mohamed Dilsad

PHIට පහර දුන් සැකකරු ළමා රැඳවුම් නිවාසයේ රඳවන්නැයි නියෝග

Mohamed Dilsad

බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් 05 දෙනෙකු රෝහලේ

Mohamed Dilsad

Leave a Comment