දේශීයප්‍රමුඛ පුවත 1

රට වෙනුවෙන් කැපකිරීම් කළ රණවිරුවන් කිසිම විටක පීඩනයට පත්කරන්නේ නැහැ – ජනපති

(UTV | කොළඹ) – රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස අද(19) පස්වරුවේ  පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින්.

සියම් නිකායේ මල්වතු, අස්ගිරි දෙපාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානි ඇතුළු රණවිරුවෝ සහ රණවිරුවන් දෙමාපියෝ, බිරින්දෑවරු සහ දූදරුවෝ උත්සවයට එක්ව සිටියහ.

රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

යුද හමුදාවේ වසර 20ක් සක්‍රීය සේවයේ නිරත නිලධාරියෙකු, දස වසරක් ආරක්ෂක ලේකම්වරයෙකු සහ පුරවැසියෙකු ලෙසත් රණවිරුවන් කළ කැපකිරීම් පිළිබඳව තමාට ඉතා හොඳ අවබෝධයක් ඇතැයි ජනපතිවරයා පැවසීය.

යුද්දයේ වේදනාව තමා හොඳින් හඳුනන බැවින් විශාල පරිත්‍යාගයක් කළ සමස්ත ශ්‍රී ලාංකික ජනතාවට සාමය උදාකර දුන් රණවිරුවන්ට හිමි තැන හා ගෞරවය නැති කිරීමට ගන්නා උත්සාහයන්ට කිසිදු ඉඩක් නොතබන බව ද එතුමා සඳහන් කළේය.

ජීවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට කළ හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළේය.

 

Related posts

SLIDA හරිත සතිය අද ඇරඹේ

Mohamed Dilsad

හදිසි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහල් කරා යාමට බාධාවක් නැහැ

Mohamed Dilsad

විගණන සේවා පනත ගැසට් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment