දේශීය

විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක්

(UTV | කොවිඩ් 19) – කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සකස්කර ඇති අතර , හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලබන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අදාළ නිවේදනය පහතින් ,

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවනට මුහුණපා සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් සිය රට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමයක් සැකසේ.

හෙට පැවැත්වෙන සාකච්ඡාවකදී නව වැඩපිළිවෙළ තීරණය කරනු ලැබේ. විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජූනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරේ.

වසංගතයේ ගෝලීය ව්‍යාප්තිය නිසා පීඩාවට පත් එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් සිය රට  ගෙන්වා ගැනීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් පසුගිය ජනවාරී මාසයේ දී ආරම්භ කෙරිණ.

චීනයේ වුහාන් නගරයේ විසූ සිසුන් ඇතුළු ශ්‍රී ලාංකිකයෝ 33 දෙනෙක් පෙබරවාරි 01 වැනිදා දිවයිනට පැමිණියහ. නිරෝධායනයෙන් පසු ඔව්හු නිවෙස් බලා ගියහ.

වන්දනාවේ ගොස් ඉන්දියාවේ නගර කිහිපයක කොටු වී සිටි ශ්‍රී ලාංකිකයෝ 839 දෙනෙක් මාර්තු 19 වැනිදා සිය රට ළඟා වූහ.

ඉකුත් මැයි 25 වැනිදා වන විට රටවල් 20ක සිට මෙසේ ගෙන්වා ගත් පිරිස 5485 දෙනෙකි.

ඔවුන්ගෙන් 4826 දෙනෙක්ම විදේශ සබඳතා අමාත්‍යාංශය හා විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල එක්ව හඳුනාගත් අය වූහ.

PCR පරීක්ෂණවලින් පසු ඔවුන් අතරින් කොරෝනා ආසාදිතයන් ලෙස නිගමනය වූයේ 05 නෙකු නැතහොත් 0.01% ක් පමණි.
එසේ වුවද පසුගියදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහි සිට පැමිණි 197 දෙනාගෙන් 22ක් ආසාදිතයන් බව නිගමනය කෙරිණ. කුවේට් සිට පැමිණි 462 දෙනාගෙන් දැනට 150ක් PCR පරීක්ෂණයට ලක් කර ඇති අතර 96 දෙනෙක්ම කොරෝනා රෝගීන් ලෙස හඳුනාගනු ලැබූහ. තවත් 300කට වැඩි පිරිසක් පරීක්ෂණයට භාජන කළයුතුව තිබේ.

කුවේට්හි සිට සිය රට ආ සියලු දෙනාම පාහේ විවිධ හේතු නිසා එරට රැඳවුම් ස්ථානවල හෝ පිටුවහල් කිරීමේ කඳවුරුවල සිටි අය වෙති. ආසාදිතයන් ලෙස හඳුනාගත් අයට ප්‍රතිකාර කිරීමද අවශ්‍යතාවකි.

මේ පසුබිම මත එතෙර වෙසෙන ශ්‍රී ලාංකිකයන් යළි ගෙන්වා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට තීරණය විය. ගෙන්වා නොගතහොත් ඔවුනට අත්වන ඉරණම මානුෂීය දෘෂ්ටියකින් බලා ඔවුන් ගෙන්වා ගැනීම ඉදිරියටත් සිදු කිරීමට රජය තීරණය කර ඇත.

නව ක්‍රමවේදය සකස් කිරීම පිණිස හෙට පැවැත්වෙන සාකච්ඡාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති කාර්යාලයේ විදේශ සබඳතා අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන, වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්ම මහත්මීහූ සහභාගී වෙති.

Related posts

අවු.15ට වැඩි සැමට නව ඩිජිටල් හැඳුනුම් පතක්

Mohamed Dilsad

මිලියන 16 කට අධික සෞඛ්‍ය උපකරණ කට්ටල තොගයක් කොළඹ මහනගර සභාව වෙත

Mohamed Dilsad

හදිසි දුම්රිය වර්ජනය අත්හිටුවයි

Mohamed Dilsad

Leave a Comment