දේශීය

රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීම කුඩා ව්‍යාපාරවල දියුණුවට බාධාවක් – ජනපති

(UTV | කොළඹ) – රජය අනවශ්‍ය ලෙස මැදිහත්වීමෙන් කුඩා පරිමාණ ව්‍යාපාරවල දියුණුවට බාධා විය හැකි බවත් අවශ්‍ය වන්නේ පහසුකම් සහ නිපුණතා සංවර්ධනයට සහයවීම බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශකර සිටියේ රූපලාවන්‍ය හා කේශාලංකරණ ශිල්පීන්ගේ ගැටළු සාකච්ඡා කිරීම සඳහා ඊයේ (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

රූපලාවන්‍ය සහ කේශාලංකරණ ක්ෂේත්‍රයේ නිරතවන්නන්ගේ වෘත්තීයභාවය වැඩිදියුණු කිරීම, මූල්‍ය පහසුකම් සැලසීම සහ වෙළඳ ප්‍රවර්ධන හැකියාව ලබාදීම රජයේ වගකීම බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ.

බොහෝ දෙනෙකුගේ ඉල්ලීම මත ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සහය රූපලාවන්‍ය ක්ෂේත්‍රයට ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එකඟ වී තිබේ.

සුළු, මධ්‍ය හා මහා පරිමාණ රූපලාවන්‍ය මධ්‍යස්ථාන 90,000 ක් රට පුරා ඇති අතර, ලක්ෂ හතරහමාරකට අධික පිරිසක් ඒවායේ සේවයේ නිරත වෙයි.

ඔවුන්ගෙන් යැපෙන පවුල් සංඛ්‍යාව ලක්ෂ 15ක් පමණ වේ. රූපලාවන්‍ය ක්ෂේත්‍රය වෘත්තියක් ලෙස ගුණාත්මකව පවත්වාගෙන යාමට අවශ්‍ය පුහුණුව ලබාදීම පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව ඇත.

ජාතික වෘත්තීය සුදුසුකම් පාඨමාලාවේ (NVQ) 05, 06 සහ 07 අදියර සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම පැවැත්වීමට අවශ්‍ය කටයුතු සැලසුම් කරන ලෙස ජනපතිතුමා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී තිබේ.

Related posts

පාර්ලිමේන්තුව විනාඩි 2කට නිහඩ වෙයි

Mohamed Dilsad

සති දෙකක් පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

Mohamed Dilsad

මට්ටක්කුලියේ දී ඝාතන සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment