දේශීය

පෝ දින උපකාරක පන්ති නැවැත්වීමට ගුරුවරුන් එකඟ වෙයි

(UTV| කොළඹ) –  කොරෝනා ව්‍යාප්තියෙන් පසු උපකාරක පන්ති යළි ආරම්භ කිරීමේදී පැන නැගී ඇති ගැටළු විෂය කොට සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඉදිරිපත් කළ යෝජනා රැසකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකඟත්වය පළ කර තිබේ.

ඒ ඊයේ (28) දිනයේ දී උපකාරක පන්ති ගුරුවරුන් සමග පැවති සාකච්ඡාවකදීයි.

1000 කට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්ති සිසුන් 250 කට සීමා කිරීම අසීරු බව එම සාකච්ඡාවේදී දේශකවරුන් පෙන්වාදුන් අතර , ඒ පිළිබදව අවධානය යොමු කළ ජනාධිපතිවරයා කාල පරාස දෙකකදී සිසුන් 500 කට ඉගැන්වීමේ අවස්ථාව සැලසීමට සෞඛ්‍ය විශේෂඥයින්ගෙන් ද උපදෙස් සහිතව අනුමැතිය ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් මෙන්ම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් ද දැඩි අපහසුතාවකට මුහුණ දී ඇති බව දේශකවරුන් එහිදී පෙන්වා දුන්හ.

එබැවින් මෙම කරුණු සැලකිල්ලට ගෙන අදාළ විභාග පැවැත්වීමේ දින වෙනස් කිරීමට අවධානය යොමු කරන ලෙසට දේශකවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියහ.

එමෙන්ම, උපකාරක පන්ති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදා හැරීම්, සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

මීට අමතරව කතාබහට ලක්ව ඇති පොහෝ දිනවල උපකාරක පන්ති සම්පූර්ණයෙන්ම නතර කිරීමට ද ගුරුවරුන්ගේ කැමැත්ත පළ වී ඇත.

Related posts

නාලක කළුවැව සිය ධුරයෙන් ඉල්ලා අස් වෙයි

Mohamed Dilsad

35 වන පොලිස්පති ලෙස සී.ඩී. වික්‍රමරත්න අද වැඩ අරඹයි

Mohamed Dilsad

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.

Editor O

Leave a Comment