දේශීය

පක්ෂය යළි ගොඩගැනීමට තමන්ට හැකි බව කරූ කියයි

(UTV |මහනුවර) – එක්සත් ජාතික පක්ෂ නායකත්වයට අවශ්‍යය සුදුසුකම් හා පළපුරුද්ද තමා සතු බවත් බිංදුවට වැටී තිබෙන පක්ෂය යළි ගොඩගැනීමට තමන්ට හැකි බවත් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා මල්වතු මහනායක හිමියන් හමුවේ අද  (31) පැවසුවේය.

දේශපාලනයට 1996 වසරේදී පැමිණි දා සිටන් එජාපයේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ තමන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නිතර කැපවූ බවද ප්‍රකාශ කළේය.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතා අද පෙරවරුවේ මල්වතු මහ විහාරයට ගොස් එම පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.තමන් එජාප නායකත්වය බාර ගැනීමට සූදානම් බවත් එය බලහත්කාරයෙන් හෝ වෙනත් ක්‍රමයකින් ලබා ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් තමන්ට නොමැති බවත් ඒ මහතා කීය.

තමන් එජාප නායකත්වය බාර ගැනීමට සූදානම් බව ප්‍රකාශ කළේ එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වය වෙනත් අයෙකුට බාරදී ඉවත්වීමට සූදානම් බව නිවේදනය කිරීමෙන් පසු බවත්  නායකත්වයට අභියෝගකර පක්ෂය බාර ගැනීමට තමන් අපේක්ෂා නොකරන බවත් හෙතෙම අවධාරණය කළේය.

මහ සංඝරත්නය,විද්වතුන්,පාක්ෂිකයින්,ප්‍රාදේශීය දේශපාලනඥයින් එජාප නායකත්වය බාරගන්නා ලෙස තමන් ගෙන් ඉල්ලීම් කළ බවත් අද පක්ෂය ඇද වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩගැනීමට අවශ්‍යය සැළසුම් තමා සතු බවත් ජයසූරිය මහතා කීය.

එජාප නායකත්වය ලබා ගැනීමට සඳහා තවත් කිහිප දෙනෙකු ඉදිරිපත්ව සිටින බවත් තමන්ට පක්ෂ සාමාජිකත්වය නොමැති බව කියා ඇතැම් පිරිස් වැරදි අර්ථකතන ලබා දෙමින් සිටින බවත් ඒ මහතා පැවසුවේය.

එක්සත් ජාතික පක්ෂය තුළ පූර්ණ ප්‍රතිසංවිධායක් අවශ්‍යය බවත් විනය,සමඟිය හා නිසි කලමණාකරණයක් සමඟ පක්ෂය යළි ගොඩනැගිය යුතු බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගිය ජනපතිවරණ සමයේදී රනිල් හා සජිත් දෙපාර්ශවය සමඟිකර එක මාවතකට ගෙන ඒමට තමන් විශාල කාර්යභාරයක් කළ බවත් මහ මැතිවරණ සමයේ එජාපයේ හා සමඟි ජනබලවේගයේ ජාතික ලැයිස්තුවට තම නම ඇතුළත් කිරීමට දෙපාර්ශවයෙන්ම යෝජනා ඉදිරිපත් වුවත් තමන් ඊට අකමැති වූ බවද හිටපු කතානායකවරයා පැවසුවේය.

යළිත් පාර්ලිමේන්තුවට යාමේ කිසිදු වුවමනායක් තමන්ට නොමැති බවත් ඩි.එස් සේනානායක මහතා ගොඩනැගූ මෙරට ප්‍රබලතම පක්ෂය අද ඇදවැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ගැනීම තම මූලික අරමුණ බවත් ඒ මහතා කීය.

එජාපය එක් පුද්ගලයෙකුට අයිති පක්ෂයක් නොවන බවත් කෘත්‍යාධිකරී මණ්ඩලය මෙය තේරුම්ගත යුතු බවත් ඔහු පැවසුවේය.

කරූ ජයසූරිය මහතා මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියන්ද බැහැදැක ආශිර්වාද ලබාගත් අතර එහිදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂයට අද අත්ව තිබෙන විපත්තිය පිළිබඳ පාක්ෂිකයින් දැඩි කළකිරීමට පත්ව සිටින බවත් දේශපාලනයේ දීර්ඝකාලීන අත්දැකීම් ඇති කරූ ජයසූරිය මහතාට පක්ෂයට නායකත්වය දීමේ හැකියාව තිබෙන බවත් ප්‍රකාශ කළහ.

ඉන් අනතුරුව හිටපු කථානායක කරූ ජයසූරිය මහතා අස්ගිරි මහා විහාරයට පැමිණ එහිදී අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් ද බැහැ දකින ලදි.

Related posts

බිත්තර ලක්ෂයක් විසි කළ හේතුව ?

Mohamed Dilsad

අපි ගනුදෙනු කරන්නේ පාක්ෂිකයන්ගේ අභිමතය අනුවයි – නාමල් රාජපක්ෂ

Editor O

තවත් ආසාදිතයින් 542 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment