දේශීය

ගිනි ගත් නැව ගැන සොයන්න වීශේෂඥ කණ්ඩායමක් දිවයිනට

(UTV |අම්පාර) – ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් නෞකාව රසායනික ද්‍රව්‍ය සහ ජලය යොදාගෙන ගිනි නිවීම් මෙන්ම සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් සිදු කරයි.

එම නෞකාව ගොඩබිම සිට නාවික සැතපුම් 40ක් එනම් කිලෝමීටර් 74ක් පමණ දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවා තිබේ.

මෙම නෞකාවේ ඉදිරි ආපදා කළමනාකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් නිර්දේශ ලබාදීම සඳහා වීශේෂඥ කණ්ඩායම අද දිවයිනට පැමිණ ඇත.

ඔවුන් අද උදෑසන 6.45 ට මත්තල ගුවන් තොටුපලින් දිවයිනට පැමිණි බව වාර්තාවේ.

මෙම විශේෂඥයන් පිරිසට මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයන් මෙන්ම ආපදා තක්සේරුකරුවන් සහ නීති උපදේශකයෙකුද ඇතුළත් වන අතර ඔවුන් මෙරටට ගෙන්වා ඇත්තේ නෞකාව අයත් සමාගමේ මැදිහත්වීමෙනි.

කෙසේ වෙතටත් ශ්‍රී  ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිනි නිවීමේ නිලධාරින් කණ්ඩායමක්ද මෙම නෞකාව නිරීක්ෂණය සඳහා අද එක්වනු ඇත.

මේ අතර  “New Diamond තෙල් නෞකාවේ ගින්නක් ඇතිවීම” යන ශීර්ෂය යටතේ අද (06) නාවික හමුදාව විසින් නිකුත් කල මාධ්‍ය නිවේදනය මෙසේයි.

ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රමුඛ අනෙකුත් පාර්ශවකරුවන් දහන අපෝෂක රසායනික ද්‍රව්‍ය හා ජලය යොදාගෙන ආපදාවට ලක් වූ නෞකාවේ ගිනි නිවීම් හා එයට සිසිලන ආවරණ ලබාදීම තවදුරටත් ඉතා කාර්යක්‍ෂමව සිදු කරනු ලබයි. ගොඩබිම සිට නාවික සැතපුම් 40 ක් (කිලෝමීටර් 74 ක් පමණ) දක්වා වූ ගැඹුරු මුහුදේ රඳවාගෙන ක්‍රියාත්මක වන මෙම මෙහෙයුම සඳහා පෙර දින (2020 සැප්තැම්බර් 05) මධ්‍යම රාත්‍රියේදී ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාවක්ද එක් විය.

2020 සැප්තැම්බර් 05 වන දින රාත්‍රී කාලයේදී, ආපදාවට පත් නෞකාව ඇති මුහුදු ප්‍රදේශයේ යම් රළු ස්වාභාවයක් හා සුළගේ වැඩිවීමක් නිරීක්‍ෂණය වුවද එම අභියෝග හමුවේද මෙම ආපදා කළමණාකරණ මෙහෙයුම අඛණ්ඩව සිදු කෙරුණු අතර, අද දිනය පුරාවට ද දහන අපෝෂක රසායන ද්‍රව්‍ය හා ජලය යොදා ගනිමින් මෙම ආපදා තත්වය මැඩ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

නිව් ඩයමන්ඩ් නෞකාවේ වාණිජ හිමිකරු වන ග්‍රීසියේ ඇතෑන්ස් නුවර පිහිටි New Shipping Limited ආයතනය විසින් ආපදා ගැලවුම්කාර පාර්ශවය ලෙස සිංගප්පූරුවේ සිට ක්‍රියාත්මක වන SMIT Singapore Pte Ltd නම් ජාත්‍යන්තර ආයතනය පත් කර ඇත. එම ආයතනය විසින් මේ වන විට මෙම ආපදා ගැලවුම් (Salvage) සඳහා බොරතෙල් සම්බන්ධව විශේෂඥ දැනුම ඇති පුද්ගලයින් හා උපකරණ නිව් ඩයමන්ඩ් නෞකාව වෙත යොමු කරමින් පවතී. දැනට ආපදාවට ලක් වූ මෙම නෞකාව සමඟ ඇති ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාවේ මෙවැනි ආපදාවන් සම්බන්ධව කටයුතු කල හැකි ගලවාගැනීමේ විශේෂඥ ප්‍රධානියෙකු ඇතුළු කණ්ඩායමක් ඇති අතර, එම ටග් යාත්‍රාව හා එකතුවීමට බොරතෙග් නැව් හැසිරවිය හැකි විශාල ප්‍රමාණයේ ටග් යාත්‍රා දෙකක් සිංගප්පූරුව සහ මොරිෂස් යන රටවල් වෙතින් මේවන විටත් පිටත්ව ඇත. තවද, SMIT Singapore Pte Ltd ආයතනය විසින් මෙම රැගෙන එන පුද්ගලයින් හා භාණ්ඩ පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කිරීමට කටයුතු කර ඇති අතර, එම කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව අවශ්‍ය සහයෝගය දැක්වීමට සූදානමින් සිටී.

ඒ අනුව, අද (2020 සැප්තැම්බර් 06) උදෑසන කාලයේදී මුදවා ගැනීමේ මෙහෙයුම් විශේෂඥයින්, ආපදා තක්සේරුකරුවන් හා නීතී උපදේශකයෙකු ද ඇතුළු 10 දෙනෙකුත් යුත් බ්‍රිතාන්‍ය හා නෙදර්ලන්ත විශේෂඥයින් පිරිසක් දිවයිනට පැමිණ නෞකාවේ ආපදා කළමණාකරන කටයුතු විමර්ශනය කර ඉදිරි කටයුතු සැළසුම් කළ යුතු ආකාරය පිළිබඳ අවශ්‍ය නිර්දේශ ලබා දීමට නියමිතය. මීට අමතරව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ප්‍රධාන ගිණි නිවීමේ නිලධාරී ඇතුළු කණ්ඩායමක්ද මෙම ආපදාවට පත් නෞකාව නිරීක්‍ෂණය සඳහා අද (2020 සැප්තැම්බර් 06) එක්වීමට නියමිතය.

ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව තුළ මේවන විට ආරක්‍ෂිතව වෙන්කර තබා සිටින ආපදාවට පත් නෞකාවෙන් ගලවා ගත් කාර්යමණ්ඩලයේ නාවිකයන් 20 දෙනා හට අනතුරින් පසු ප්‍රථම වරට දුරකථන මාර්ග ඔස්සේ සිය සහෘදයන් සමඟ සම්බන්ධවීමට අවස්ථාව උදා කිරීමට ද නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත.

මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නෞකා තුනක් (03), ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා පහක් (05), ඉන්දියානු නාවික හමුදාවට අයත් යුධ නෞකාවක්, හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ (Hambanthota International Port Group) රාවණා සහ වසඹ යන ටග් යාත්‍රා දිවිත්වය (02) ආපදාවට පත් නෞකාව අයත් සමාගම මගින් යෙදවූ ALP Winger නම් ටග් යාත්‍රාව (01) සහ ගැඹුරු මුහුදේ මෙහෙයුම් සිදු කරනු ලබන ගිනි නිවීමේ විශේෂඥයින්ගෙන් සමන්විත ටීටීටී 1 (TTT One) නමැති ටග් යාත්‍රාව (01) හා ඕෂන් බ්ලිස් (Ocean Bliss) නම් ටග් යාත්‍රාව මෙම ගිනි නිවීමේ මෙහෙයුම සඳහා මේවන විටත් සක්‍රීයව දායකත්වය ලබා දෙයි. මීට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා තුනක් (03) හා ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකා දෙකක් (02) සැපයුම් යාත්‍රාවන් වශයෙන් මෙම මෙහෙයුමට එක්කර ඇත.

එමෙන්ම ඉන්දියානු වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවට අයත් ඩ්‍රෝනියර් ගුවන් යානාවක් මත්තල මහින්ද රාජපක්‍ෂක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් ගුවන්ගත වී ආපදාවට පත් නෞකාව පිහිටි මුහුදු ප්‍රදේශයේ නිරීක්‍ෂණ කටයුතු වල අද දින නියැලීමට නියමිතය.

විශේෂඥ උපදෙස් අනුව ක්‍රියාත්මක වන මෙම ඒකාබද්ධ ආපදා මර්දන මෙහෙයුම මගින් නෞකාවේ ගින්න පැතිරයාම මේ වන විට සාර්ථකව පාලනය කර ඇති අතර, එම නෞකාව මගින් සාගරයට තෙල් කාන්දුවීමේ කිසිදු අවධානමක් නොමැත.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 7000 කට වැඩි පිරිසක් පොලිස් භාරයට

Mohamed Dilsad

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වේ

Mohamed Dilsad

අබුඩාබි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හෙට සිට විවෘතයි

Mohamed Dilsad

Leave a Comment