දේශීය

නව වසරට ජනපතිගෙන් සහ අගමැතිගෙන් සුබ පැතුම්

(UTV |කොළඹ) – නව වසරේ උදාව, ගතවන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කරගනිමින් ජීවිත සකසා ගැනීමටත්, අදිටනින් පෙරට යාමටත් අප දිරි ගන්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින්, අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන් ද පරිපූර්ණව බව ජනාධිපතිවරයා සිය සුබපැතුම් පණිවිඩයේ සඳහන් කර තිබේ.

“සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමග අපි ද පෙරමුණ ගත්තෙමු. බරපතල අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසාර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය”.

“ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේ දී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනගනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය. රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන්නෙමු”.

“සෞභාග්‍යයේ දැක්මේ” ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා මුළුමහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරී කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයෙකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියෙකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.

“එළැඹෙන වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට සිදුවුවත් ඒ සඳහා ආත්මශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුල එම විශ්වාසය අප තහවුරු කර ඇත. විනයගරුක රටක ආර්ථික සහ සාමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින්, අපි සියලුදෙනාම විනය ගරුකව, අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුලදී අදිටන් කර ගනිමු.
මෙරට මෙන්ම එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔවුන්ගේ දූ දරුවන්ටත් එළැඹෙන වසර රෝග පීඩාවලින් තොර, ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවා!යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි”යනුවෙන් ජනාධිපතිවරයා නව වසර වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

මේ අතර සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට ඉමහත් සතුටින් සුභාශිංසන පළ කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සුබපැතුම් පල කරයි.

“සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘභූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරමු”.

“නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයකි. වසර පහක කාලයක් ඇණහිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණ දීමට අපට හැකිවිය. මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකිය”.

“ලොව අන් සියලු රටවල් මෙන්ම කොවිඩ්-19 වයිරසයේ අභියෝගයට අප ද මුහුණ දෙමින් සිටියි. වයිරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුලු ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැයේ නිරත මෙහෙවර අපමණය. රජය කොව්ඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි උපරිම මැදිහත්වීමට දායක වී සිටියි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගය ද සුළුපටු නැත.
නව වසරේ රට හමුවේ ඇති මෙම අභියෝග එක්ව ජයගත හැකිය”යනුවෙන් එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ.

Related posts

ජල ගැලීම්වලින් වගා හානි සිදුවූ ඉඩම් පිළිබඳ දැනුම් දෙන්න – කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය

Editor O

නීතිමය සහ සදාචාරාත්මක ප්‍රමිතීන් පිළිපැදිය යුතු බව දන්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් ජනාධිපතිට ලිපියක්

Editor O

හරක් කටාට කෑම සුපිරි වෙළෙඳසැලකින්

Mohamed Dilsad

Leave a Comment