ව්‍යාපාරික

HNB FINANCE වෙතින් කොවිඩ් පාලනයට ත්‍රීරෝද රථ සඳහා “මගී ආරක්ෂණ ආවරණ”

(UTV| කොළඹ) – ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සම්පාදකයකු වන HNB FINANCE PLC සිය ආයතනික සමාජ වගකීම් ප‍්‍රවේශය යටතේ කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා පියවර ගනිමින් ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ප‍්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ සහ නුගේගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂණ නිලධාරී මාධව ගොඩගෙදර මහතාගේ සහයද ඇතිව HNB FINANCE හි කළමනාකාර අධ්‍යක්ෂ ප‍්‍රධාන විධායක නිළධාරී චමින්ද ප‍්‍රභාත් මහතාගේ සහ බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල කටුපිටිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් නුගේගොඩ, මිරිහාන පොලිස් ක්‍රීඩා පිටියේදී සංවිධානය කරන ලදී.

මෙහිදී කොවිඩ් වසංගත තත්ත්වය තුළ මගීන් ගෙන යෑමේදී සහ මගී සේවා පවත්වාගෙන යෑමේදී පිළිිපැදිය යුතු සෞඛ්‍යය පිළිවෙත් පිළිබඳව ත‍්‍රීරෝද රථ රියැදුරන් දැනුවත් කිරීම මෙම වැඩසටහනේ මුඛ්‍ය අරමුණ විය.

මෙම වැඩසටහන සඳහා නුගේගොඩ සහ ඒ අවට මගී සේවා පවත්වාගෙන යනු ලබන ත‍්‍රීරෝද රථ රියදුරන් 250 ක් පමණ සහභාගී වූ අතර ඔවුන්ගේ ත‍්‍රීරෝද සඳහා ප‍්‍රමිතියානුකූල මගී ආරක්ෂණ ආවරණ සහ ත‍්‍රීරෝද රථ රියැදුරන් සඳහා ප‍්‍රමිතියානුකූල මුඛ ආවරණ ලබා දීමට ද HNB FINANCE සමාගම කටයුතු කරන ලදී.

කොවිඩ් වසංගතය සමාජ තුළ පැතිර යෑම වැළැක්වීම සඳහා කොවිඩ් පැතිර යෑම පාලනය කිරීමේ විශේෂ මෙහෙයුම් කමිටුව සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග පාලන ඒකකය විසින් මගී ප‍්‍රවාහන බස් රථ සහ පුද්ගලික ත‍්‍රීරෝද රථ සඳහා මගීන් වෙන් කෙරෙන ආවරණ අනිවාර්යයෙන්ම තිබිය යුතු බවට තීරණය කරන ලදී.

ඒ අනුව ත‍්‍රීරෝද රියදුරන් සහ මගීන් අතර දුරස්ථභාවය රඳවා තබා ගැනීමට මගී ආවරණ යෙදීමට රියදුරන්ට උපදෙස් ලබා දුන් අතර මෙම අවශ්‍යතාව කඩ කරනු ලැබූ ත‍්‍රීරෝද රථ රියදුරන් රුපියල් 25,000 ක දඩයකට යටත් කරනු ලැබීය.

සමාජ දුරස්ථකරණය සහ කොළඹ නගරය හා ඒ අවට විටින් විට හුදෙකලා කිරීමත් සමගම ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ ආදායම් මට්ටම් පහළ ගොස් ඇති අවස්ථාවක ප‍්‍රමිතීයානුකූල මගී ආරක්ෂණ ආවරණ ලබාදීම තුළින් ත‍්‍රීරෝද රථ මගින් කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීමට සහායවීම දඩයකට ලක් වීමේ අවදානම මගහැරීමට ත‍්‍රීරෝද රථ හිමිකරුවන්ට සහාය වීම යන කරුණු ද්විත්වයම සපුරාලීමට මෙම පරිත්‍යාගය මගින් HNB FINANCE සමාගමට හැකි විය.

මීට අමතරව මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වන HNB FINANCE PLC හි අළෙවි ප‍්‍රධානී උදාර ගුණසිංහ මහතා ,

‘‘ ත‍්‍රීරෝද රථ සේවාව මෙරට මගී ප‍්‍රවාහන කාර්යයේ අත්‍යාවශ්‍යම අංගයක් වන අතර කොවිඩ් වෛරසයට ගොදුරු වීම පිළිබඳව අවධානය යොමු කිරීමේදී ත්‍රී රෝද රථ රියැදුරන් සමාජයේ අධි අවදානමකට ලක්විය හැකි කණ්ඩායමක් ලෙසද සැලකිය හැකියි. ඒ අනුව ඔවුන් වෙත ප‍්‍රමිතියානුකූල මගී ආවරණ ලබා දීම තුළින් ත‍්‍රීරෝද රථවල ගමන් කරන මගීන් වෙත වෛරසය සම්ප්‍රේෂණය අවම කිරීමත් මගී ආරක්ෂක ආවරණයේම රඳවා ඇති Stay Safe QR Code එක මගින් රථයේ ගමන් ගන්නා මගියාගේ ආරක්ෂාව සහ පහසුව සැලසීමත් මේ තුළින් අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ වැඩසටහන අපගේ ශාඛාවන් හරහා ලංකාව පුරා සිදුකිරීමටත් ඒ තුළින් කොවිඞ් වසංගතය පාලනය කිරීමට හැකි උපරිම දායකත්වයක් ලබාදීමටත් සමාජ වගකීම පිළිබඳව දැඩිව සිතන සමාගමක් විදිහට අපි ඉදිරියේදීත් කටයුතු කරනවා’’යනුවෙන් පැවසීය. ⠀

මෙවන් දැනුවත් කිරීමේ සහ ත‍්‍රීවිල් රථ සඳහා මගී ආරක්ෂණ ආවරණ ලබාදීමේ වැඩසටහනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සහභාගී වූ ත්‍රී රථ රියැදුරන්ගේ නොමද පැසසුම් HNB FINANCE PLC වෙත හිමිවූ අතර මේ අවස්ථාවට මිරිහාන පොලිස් මූලස්ථානාධිපති – පොලිස් පරීක්ෂක එච්.ඊ.එම්.තුෂාර මහතා ඇතුළු පොලිස් කාර්යමණ්ඩලයේ නිළධාරීන් සහ HNB FINANCE සමාගමේ නිළධාරීහුද සහභාගී වූහ.

වර්ෂ 2000 දී පිහිටුවන ලද HNB FINANCE PLC ශ‍්‍රී ලංකාවේ මහ බැංකුවේ මුදල් මණ්ඩලය මගින් ලියාපදිංචි කරන ලද බලපත‍්‍රලාභී මූල්‍ය සමාගමකි. ශාඛා 49 ක් හා සේවා මධ්‍යස්ථාන 21 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති HNB FINANCE PLC වෙතින් සලසනු ලබන මූල්‍ය සේවාවන් අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය SME, ලීසිං සේවා, රන් ණය, නිවාස ණය, පුද්ගලික ණය, අධ්‍යාපන ණය, ඉතිරිකිරීම්, සහ ස්ථාවර තැන්පතු පහසුකම් යන මූල්‍ය සේවා ප‍්‍ර‍්‍රධාන වේ.

 

 

 

Related posts

කිතුල් ක්ෂේත්‍රයට අදාළ නිෂ්පාදනකරුවන්ට භාණ්ඩ ලබාදීම ඇරඹෙයි

Mohamed Dilsad

ඉකුත් වසරේ CPC පාඩුව කෝටි ගණනක්

Mohamed Dilsad

උත්සව සමයේ දී කුකුල් මස් කිලෝවක් රුපියල් 450 කට

Mohamed Dilsad

Leave a Comment