ක්‍රීඩා

ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුයි – අගමැති

(UTV | කොළඹ) – ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී සඳහන් කර සිටියේය.

ජවසම්පන්න පරපුරක් උදෙසා “ගමට පිටියක්” ජාතික වැඩසටහන යටතේ රටපුරා ග්‍රාමීය ක්‍රීඩා පිටි 332 ක් එකවර සංවර්ධනය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ක්‍රීඩාවේ යටිතල පහසුකම් සංවර්ධනය කරමින් රටේ නව ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමේ පරමාර්ථය ඇතිව මෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක වේ.

ගමට පිටියක් ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.

ක්‍රීඩාව වෙනුවෙන් අපි අද මේ මොහොතේ රට පුරා ඇති ක්‍රීඩා පිටි 332ක සංවර්ධනය කිරීම ආරම්භ කරනවා. එකවර වැඩ ආරම්භ කරන නිසා මේ ක්‍රීඩාපිටි හැම එකකටම අපට යන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ ක්‍රීඩා පිටි අතරින් තෝරාගත්ත එක ක්‍රීඩා පිටියකට ඇවිත් වැඩ ආරම්භ කිරීමේ උත්සවය පවත්වන්නත් අපි තීන්දු කරනවා. මොකද හැම ක්‍රීඩාපිටියක්ම අපට වටින නිසා.

මිත්‍රවරුනි,

තමුන්නාන්සේලා දන්නවා තරුණ පරපුරටත් ළමා පරපුරටත් අද එල්ල කරන චෝදනා බොහොමයක් තියෙනවා. දෙමව්පියෝ කියනවා තරුණ පරපුරට ඉවසීමක් නෑ, කලබලකාරී බවෙන් යුක්තයි කියලා. ඒ වගේම දෙමව්පියෝ කියනවා තරුණයෝ පටු ආත්මාර්ථකාමී, සාමූහික හැඟීමකින් තොරව ජීවත්වෙන පිරිසක් කියලා.

ඒ වගේම ෆෝන් එකටම ලැප්ටොප් එකටම තරුණයෝ ඇබ්බැහි වෙලා ඒගොල්ලෝ සංවේදී නැහැ කියලා තවත් පිරිසක් කියනවා. මෙහෙම චෝදනා කරනවා මිසක් ඒකට හේතු හොයලා බලන්න අපි පුරුදුවෙලා නැහැ.

මිත්‍රවරුනි,

එදා මේ රටේ හැමතැනම එකම ක්‍රීඩා පිට්ටනියක් වගේ තිබුණේ. වතුපිටි විශාලයි. ගම්වල ඕනෑම වත්තක ඕනෑම ක්‍රීඩාවක් කරන්න පුළුවන් තරම් ඉඩකඩක් තිබුණා. නමුත් දැන් අපි පාරේ යනකොට පේනවා බොහෝ නගරවල වගේම ගම්බදවත් ඉඩකඩම් ඉතාම කුඩාවේගෙන යනවා. ඒ වගේම අද වාහන පාකින් එකක් හදන්න තියෙන උනන්දුව දරුවන්ට ක්‍රීඩාපිටියක් හදන්න ඇත්තේ නැති බව ඔබ පිළිගන්නවා ඇති.

මේ රටේ දරුවන්ට ක්‍රීඩා කරන්න ඉඩක් තියෙනවද කියන කාරණය ඒ නිසා අලුතෙන්ම අපි හිතා බලන්න ඕනේ. මේ තත්ත්වයෙන් රට මුදාගන්න, අපේ ජාතිය බේරාගන්න තබන හොඳම පියවරක් තමයි අද මේ අපි තබන්නේ කියලයි මම විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,

පාසලක් විවෘත කළාම බන්ධනාගාරයක් වැහෙනවා කියලා ප්‍රසිද්ධ කතාවක් තියෙනවා. අපි ඒ බව තේරුම් අරගෙන අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් කරගෙන යනවා. ඒ වගේම තමයි පිට්ටනියක්, ක්‍රීඩාංගනයක් දියුණු කළාම රෝහලක් හදන්න තියෙන අවශ්‍යතාව අඩුවෙන බව මට හිතනෙවා. අද අපේ රටේ පුරවැසියන්ගේ ආයු කාලය වයස අසූව ඉක්මවලා තියෙනවා. නමුත් දීර්ඝායුෂ වින්දත් රෝගියෙක් හැටියට නම් ජීවත්වෙන්න සිදුවන්නේ ඒකෙන් ඇති වැඩක් තියෙනවා ද? වැඩක් නැහැ. අද ලෝකෙම හොඳ ජීවිතයක්, නිරෝගීමත් ජීවිතයක් ගතකිරීම ගැන හිතන කාලයක්. ඒකට තමයි එක පැත්තකින් ක්‍රීඩාව තියෙන්න ඕනෑ කියලා මම විශ්වාස කරන්නෙ.

මිත්‍රවරුනි,

අද අපේ සමහර දෙමව්පියෝ හිතනවා, ක්‍රීඩාව කියන්නේ කාලය නාස්ති කිරීමක් කියලා. නමුත් ක්‍රීඩාවට අද තියෙන්නේ ඉතාම හොඳ ඉල්ලුමක්. අද ක්‍රීඩාව කියන්නේ එක පැත්තකින් වෙළෙඳපොළක් තියෙන වෘත්තීය භාවයක් තියෙන විෂයක් බවට පත්වෙලා ඉවරයි.

අද අපේ රටේ ක්‍රීඩා පාසැල් ගණන 30ක් දක්වා වැඩි කරන්න අපි කටයුතු කරලා තියෙනවා. අනාගතයේ මේ තත්ත්වය තව තවත් ඉහළ යවන්න ඕනි. අපි රටක් හැටියට හොඳ ක්‍රීඩකයො බිහිකරන්න ඕන.

අද රටේ තියෙන්නේ ක්‍රීඩා නැරඹීමක් මිසක් ක්‍රීඩාවේ යෙදීමක් නෙමෙයි. නරඹන්නත් ඕන තරම් ඉන්නවා. හැබැයි ඒ අය ක්‍රීඩාවේ යෙදෙනවා නම් තමයි හොඳ. එහෙම පරපුරකට තමයි අනාගතයේ සාර්ථක නීරෝගීමත් ජීවිතයක් ගතකරන්න පුළුවන්කම තියෙන්නේ. ජය පරාජය භුක්ති විඳින්න පුළුවන්කම තියෙන්නෙ.

මිත්‍රවරුනි,

මීට සතියකට පමණ කලින් තමුන්නාන්සේලාට මතක ඇති අපේ ලංකාවට ආවා පකිස්තානයේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මැතිතුමා. එතුමා කිව්වා, එතුමා දේශපාලනයට ඇවිල්ලා තනියම පක්ෂයක් හදාගෙන වැඩ කරලා වසර ගණනාවක් පරාජය වෙමින් ඒ සියල්ලම දරාගෙන හිටියා කියලා.

ඒ කාලේ එතුමාට බොහෝ දෙනෙක් හිනා වුණාලු. නමුත් එතුමා ඉවසීමෙන් කටයුතු කරලා අවසානයේ පකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරය ලබාගත්තා. ඉම්රාන් ඛාන් මැතිතුමා මට කිව්වා, එතුමාට පිට්ටනියෙදි ලැබිච්ච අත්දැකීම තමයි ඒ වගේ ගමනක් එන්න බලපෑවේ කියලා.

අපිටත් එහෙමයි. අපි ජීවිතයේ පරාජයට මුහුණපාපු අවස්ථා ගණනාවක් තියෙනවා. 2015 ජනවාරි 08 වැනිදා අපි පරාජය වෙලා ගෙදර ගියා. අපේ පක්ෂය අපිට අහිමි වුණා. මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකෙන් පිට පක්ෂයක් අපි ගොඩනැඟුවා.

ගොඩනඟලා අවුරුදු 4 ක් ඇතුළත සියලු අභියෝගවලට මුහුණදීලා අපි නැවතත් රටේ ආණ්ඩු බලය දිනාගත්තා. එහෙම කරන්න පුළුවන් වුණේ මම විශ්වාස කරනවා බාල කාලයේ ක්‍රීඩාවේ යෙදිලා ඉවසීම වගේම පරාජයත් පුරුදු වෙච්ච නිසා.

යුද්ධයේදිත් අපි යුද්ධයක් ජයග්‍රහණය කරනකොට අපිට අවශ්‍ය ඉවසීම, සටන්කාමීත්වය ලැබුණේ ක්‍රීඩාවෙන් බව මම කියන්න ඕනෑ.

ඒ නිසා අද අපි සියලුම ආකාරයේ පිට්ටනි දිහා අලුත් ඇහැකින් බලන බව තමුන්නාන්සේලාට පේනවා ඇති. අද ඉඳන් අපි මේ රටේ තියෙන පාසැල් පිට්ටනි වැඩිදියුණු කරනවා. ඒ වගේම මහජන ක්‍රීඩාපිටි වැඩිදියුණු කරනවා. ඒ විතරක් නෙමෙයි ගම්වල අලුතෙන් කුඩා ක්‍රීඩාංගන ඉදිකරන්න අවශ්‍ය සියලුම පහසුකම් ලබාදෙන්න කටයුතු කරනවා.

මෙහෙම කරන්නේ හොඳ ශරීර සෞඛ්‍යයක් හිමි, නිරෝගී පරමායුෂ ඇති පිරිසක් මේ රටට බිහි කරන්න ඕනි හින්ඳා. ඉවසීමෙන් සංයමයෙන් යුතු ආත්මාර්ථකාමීත්වයෙන් තොර සාමූහික හැඟීමෙන් යුතු පරපුරක් මේ රටේ බිහි කරන්න ඕනි. ඒ සඳහා තමයි අපි මේ කටයුත්ත ඉටුකරන්නෙ. පරිගණකයට, ටෙලිෆෝනයට ඇබ්බැහි වුණ යාන්ත්‍රික බවෙන් අපේ ජාතිය මුදාගන්න ඕන.

මම අපේ රටේ දෙමව්පියන්ට කියන්න ඕනේ අද මේ රටේ ක්‍රීඩා ඇමැති හොඳ ක්‍රීඩයෙක්. මම ඇමැති වුණත් විපක්ෂ නායක වුණත් අගමැති වුණත් ජනාධිපති වුණත් නාමල් සෙල්ලම් කරනකොට පිට්ටනියට බලන්න ගියා. මම හිතන්නෙ පොඩි කාලෙ ඉඳන් හැම මැච් එකටම මම ගියා. වයස 6-9 වෙනකොට පටන් ගත්තෙ. ඒ හැමදාම මම ගිහිල්ලා තියෙනවා.

මොකද පිට්ටනියෙදි ලැබෙන අත්දැකීම ජීවිතය සාර්ථක කරගන්න ඉතාම වැදගත් වෙන නිසා. මට පේනවා දැන් නම් නාමල් රගර් පිට්ටනියේ දුවනවාට වඩා වැඩි වේගයෙන් ක්‍රීඩා ඇමැතිකම අරගෙන දුවන බව. ඇමැතිතුමාට ඒ ජවය ලැබිලා තියෙන්නේ, වැඩ කිරීමට වුවමනා ශක්තිය ලැබිලා තියෙන්නේ එයත් පාසල් කාලයේ ක්‍රීඩකයෙක් විදිහට ක්‍රීඩාවේ යෙදුන නිසයි කියලයි මම විශ්වාස කරන්නෙ.

මේ රටේ සියලු දෙනා ඒ විදියට ක්‍රීඩාව දිහා බැලිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. මේ පිළිබඳව ඔබේ අවධානය රටේත් ජාතියේත් අවධානය යොමු කරවන්න ඕන.

ඔබ සැමට නීරෝගීමත් සුබ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

 

Related posts

පකිස්ථාන ටෙස්ට් තරගාවලියට යන ශ්‍රීලංකා සංචිතය

Mohamed Dilsad

දකුණු අප්‍රිකාව ලකුණු 283ක් පිටුපසින්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන මූල්‍ය නිලධාරී අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment