ක්‍රීඩා

ඩිලාන්ගේ වාර්තාව බිඳහෙලා අශාන් නව වාර්තාවක් පිහිටුවයි

(UTV| කොළඹ) – සදර්න් මෝටර් රථ ක්‍රීඩා සමාජය 25 වැනි වරටත් සංවිධානය කළ ‘එලියකන්ද තරණය’ මෝටර් රථ සහ යතුරුපැදි තරගාවලියේදී තරගකරුවෙකු වාර්තා කළ වේගවත්ම තරග නිමි කාලයට හිමිකම් කියමින් නව වාර්තාවක්ද පිහිටුවීමට රියැදුරු අශාන් සිල්වා සමත් විය.

එස්.එල්.ජී.ටී. කාණ්ඩයේ (සිලින්ඩර ධාරිතාව 3500 දක්වා) මෝටර් රථ තරගයට සහභාගි වූ අශාන්ට එම තරගයේ ගමන් වාරයක් නිමා කිරීම සඳහා ගතවූ අවම කාලය වූයේ තත්පර 31.26 කි.

ඒ අනුව තරගාවලියේ වේගවත්ම කාලය ලෙස එතෙක් සටහන් වී තිබූ තත්පර 32.42 වාර්තාව බිඳ දැමීමට අශාන්ට හැකි විය. 2018 තරගාවලියේදී එස්.එල්.එෆ්. කාණ්ඩයේ (සි.ධා. 1665 දක්වා) නවීකරණය කළ ෆෝර්මියුලා මැක්ලරන්ස් මෝටර් රථ තරගයට සහභාගි වෙමින් ඩිලාන් සෙනෙවිරත්න එහි පැරණි වාර්තාව වාර්තාව පිහිටුවා තිබුණි.

මෙවර තරගාවලියේදී අඩුම කාලයකින් තරගය නිමා කළ යතුරුපැදිකරුවා ලෙස සම්මාන හිමිකරගැනීමට ජේඩ්න් ගුණවර්ධන සමත් විය. ඔහු එම සම්මානයට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි ඉසව්ව තත්පර 33.63 ක කාලයකින් නිමා කරමිනි.

මින් පෙර මෙම තරගාවලියේදී අඩුම කාලයකින් තරග වාරයක් නිමා කළ යතුරුපැදිකරුවා බවට පත්ව සිටියේ සංගීත් සූරියගේය. ඔහු එම වාර්තාවට හිමිකම් කීවේ එස්.එම්. කාණ්ඩයේ සුපර් මෝටාඩ් විවෘත යතුරුපැදි තරගය තත්පර 33.752 කින් නිමා කරමිනි.

මීටර් 800 ක දිගකින් යුත් තාර ඇතිරූ මාර්ගයක පැවැති මෙම තරගාවලියට මෝටර් රථ ඉසව් 17 ක් සහ යතුරුපැදි ඉසව් 16 ක් ඇතුළත් වූ අතර ඒ සඳහා තරගකරුවෝ 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේය.

 

Related posts

බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය මෙන්න

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරඟයේ අලුත්ම තොරතුරු

Mohamed Dilsad

යොවුන් ක්‍රිකට් ලෝක කුසලාන අවසන් සටන අද

Mohamed Dilsad

Leave a Comment