ගොසිප්

අයුක්ති සහගතව අහිමි කළ ‘විවාහක රූ රැජිණ කිරුළ’ යළිත් පුෂ්පිකාට

(UTV | කොළඹ) – විවාහක ශ්‍රී ලංකා රූ රැජිණ තරගාවලියේ කිරුළ පුෂ්පිකා ද සිල්වාට යළිත් ලබා දෙන බව එහි සංවිධායක චන්දිමාල් ජයසිංහ කියා සිටියි.   

ඔහු සඳහන් කළේ පුෂ්පිකා දික්කසාද වී ඇති බව කිසිවෙකුත් තහවුරු කර නැති බවයි.

ඊයේ රාත්‍රියේ නෙලුම් පොකුණ රඟහලේ දී පැවති විවාහක රූ රැජිණ තේරීමේ තරඟයේදී කිරුළ ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වාට කිරුළ අහිමි කරනු ලැබුවේ දික්කසාද කාන්තාවකට විවාහක රූ රැජිණ ලෙස කිරුළ දැරිය නොහැකි බව සඳහන් කරමිනුයි.

එම අවස්ථාවේදී අදාළ තීරණයට විරුද්දව අදහස් දක්වමින් හිටපු ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ මෙන්ම ලෝක විවාහක රූ රැජිණ ද වන කැරොලින් ජූරි වේදිකාවට පැමිණ ප්‍රකාශ කලේ තරඟ නීති රීති වලට අනුව කිරුළ හිමිවිය යුත්තේ විවාහක අයෙකුට මිසක් විවාහයෙන් වෙන් වී දික්කසාදව සිටින අයෙකුට නොවන බවයි. එබැවින් අනුශූරතාවය දිනා ගත් තරඟකාරියට කිරුළ ලබා දෙන බව පවසමින් ඇය විසින් , අදාල තරඟකාරියගේ හිසෙහි පැළඳ තිබූ ඔටුන්න ගලවනු ලැබීය.

ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙසින් ඊයේ තේරී පත් වුවද එම කිරුළ බලහත්කාරයෙන් ගලවා දැමීමට ලක් වූ පුෂ්පිකා ද සිල්වා මහත්මිය ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.

එහි වගඋත්තරකරුවන් පස්දෙනෙකුට නම් කරමින් ඇය සදහන් කරන්නේ එම සිදුවීමෙන් තම කීර්ති නාමයට හානියක් සිදු වූ බවයි.

කෙසේවෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජයග්‍රහණයේ කිරුළු පැළඳි පුෂ්පිකා ද සිල්වා සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් ද තැබුවේ මෙලෙසින්.

ආයුබෝවන්!

මා හිතවත්, ආදරණීය, ගෞරවණීය, බුද්ධිමත් ශ්‍රී ලාංකික සහ ලෝකවාසී ජනතාවනි,

සිදුවූ අනපේක්ෂිත සිදුවීම සම්බන්ධයෙන් ඔබ මගේ ප්‍රතිචාරය අපේක්ෂා කරන බව මම දැනටමත් දනිමි. කියන්නට බොහෝ දේ තිබුනත්, අත්‍යවශ්‍ය කාරණා පමණක් මෙහි සටහන් කරමි.

පළමුව, 2020 වර්ෂයේ විවාහක රූ රැජිණ කිරුල ජයග්‍රහණය කිරීම සඳහා මා තෝරාගත් විනිශ්චය මණ්ඩලයට මගේ ගෞරවය සහ ස්තුතිය පුද කරමි.

දෙවනුව, මා සිතන ආකාරයට ලංකාවේ නොව ලෝකයේ ම රූ රැජිණ ඉතිහාසයේ පලවෙනි වරට එසේ අපහාසාත්මක ලෙස, සියල්ලන් ඉදිරියේ මගේ කිරුල උදුරා ගනු ලැබුවත්, මේ ලියන මොහොතේ ත් මම මගේ හිස කෙලින් තබාගෙන, පෙර සේ ම අභිමානයෙන් ආඩම්බරයෙන් සිටින බව කියමි. මම, මම ම වන අතර, මට මෙය තවත් එක සිදුවීමක් පමණි.

ලෝක විවාහක රූ රැජිණ, එසේ මගේ හිසින් මගේ කිරුල උදුරා ගනිද්දී මගේ හිස් කබලට සිදු වූ තුවාල වල වේදනාව, කිරුල අහිමි වෙද්දී සිතට දැනුන වේදනාව යන දෙකටම වඩා, “.. අම්මිගෙ ඔලුව තුවාල වෙලා නේද..? රිදෙනවද අම්මි?” යැයි මගේ කුඩා පුතු අසන විට දැනෙන වේදනාව මට දරාගත නොහැකි ය.

එහෙත්, මෙය තනි ගැහැණියක් වූ මා වෙනුවෙන් මුලු ලෝකයක ගැහැණුන් මෙන්ම පිරිමින් ද, පක්ෂ පාට ජාති ආගම් කුල මල භේද පසෙක ලා හඬ අවදි කරන ඓතිහාසික මොහොතකි. ඔබ සියලු දෙනාගේ මේ ආදරය මට යෝධ ශක්තියක් වන බව කියමි.

අනික් අතට මම දික්කසාද ගැහැණියක් නො වෙමි. මේ ලියන මොහොතේ ත් මා දික්කසාද ගැහැණියක් නොවන බව ඉතා වගකීමෙන් කියමි. මම දික්කසාද නම්, මගේ දික්කසාද ලියවිලි ඉදිරිපත් කරන ලෙස මම ඔවුන්ට අභියෝග කරමි. මම මගේ දරුවා සමග සිටින බව මම ලෝකයෙන් සඟවා නැත. එ සේ සිටින්නට මට පෞද්ගලික හේතු ද ඇත. නමුත්, වෙන් ව සිටීම එකකි. දික්කසාදය යනු වෙනම එකකි. මම තවම දික්කසාද නො වූ තැනැත්තියක් වෙමි.

මේ තරඟාවලියේ ආරම්භයේදී ම මා ඊට නුසුදුසු නම් මා එයින් ඉවත් කරන්නට ඔවුන්ට ඉඩ තිබුණි. අවශේෂ තරඟ ඉසව් එකින් එක පසුකර මා මෙතෙක් දුර එනතෙක් ඔවුන් සිටියේ නින්දේ නො වේ.

මම 2011 ශ්‍රී ලාංකික රූ රැජිණ වූයෙමි. ඉන් දස වසරකට පසු ඊයේ රාත්‍රී විනිශ්චය මණ්ඩලයේ තීරණයෙන් විවාහක රූ රැජිණ කිරුල පැලඳුවෙමි. ඒ මොහොතේ ම මම ලංකාවේත් ලෝකයේ ත් සිටින ඔබ සියලු දෙනාගේ හදවතේ විවාහක රූ රැජිණ බවට පත් වූයෙමි.

ඉදින්, සංකේතාත්මක ඒ කිරුල මගේ හිසෙන් උදුරා ගත්ත ද, මම ඒ සිදුවූ අසාධාරණය සහ අපහාසය වෙනුවෙන් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග වෙත දැනටමත් අවතීර්ණ වී ඇති බව, ඔබට දැනුම් දෙමි.

“අවසාන වශයෙන්, සැබෑ රැජිණක් යනු, අනෙක් ගැහැණියගේ කිරුල උදුරාගන්නා ගැහැණියක් නො ව, අනෙක් ගැහැණිය ගේ ඔටුන්න රහසේ සකසන ගැහැණියක් බව කියමි”!!!

පුෂ්පිකා ද සිල්වා

– කිරුල උදුරාගන්නා ලද පලමු ශ්‍රී ලාංකික විවාහක රූ රැජිණ

 

Related posts

මන්ත්‍රී ධුරය නිසා දෙමළ ජාතික සන්ධානයත් බෙදෙයි

Mohamed Dilsad

සංඥා ලාම්පු අසළ යාචකයන්ට සහ ඔවුන්ට මුදල් දෙන අයටත් නඩු

Mohamed Dilsad

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

Mohamed Dilsad

Leave a Comment