(UTV | ඇමරිකාව) – ඇමරිකානු මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටින උපදේශක කණ්ඩායමක් විසින් ඊයේ (08) දිනයේ ෆේස්බුක් සමාගමට එරෙහිව නඩුවක් ගොනුකර ඇත.
ඔවුන් එමගින් සඳහන්කර සිටින්නේ, තමන්ගේම මධ්‍යස්ථ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ෆේස්බුක් සමාගම අපොහොසත් වීම මුස්ලිම් විරෝධී අපයෝජන රැල්ලකට හේතු වී ඇති බවයි.
වොෂිංටන්හි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනු ලැබූ මෙම නඩුවෙන් ඔවුන් චෝදනා නගන්නේ, ලොව විශාලතම සමාජ මාධ්‍ය ජාලයෙහි පවතින රීතීන් වලට ද පටහැනිව පළකර ඇති වෛරී ප්‍රකාශ අන්තර්ගතය ඉවත් කිරීමට ෆේස්බුක් සමාගම කිසිඳු පියවරක් ගෙන නොමැති බවයි.
ෆේස්බුක්, ට්විටර්, සහ ගූගල් සමාගමට අයත් යූ ටියුබ් සමාජ මාධ්‍ය ජාලයන්, මේ වන තෙක්ම 1996 දී ස්ථාපිත ෆෙඩරල් නීතියට ප්‍රකාරව පරිශීලකයින් උඩුගත කරන (Upload) අන්තර්ගත වල වගකීම මඟ හරිමින් සිටීමට හැකියාව ලැබී ඇති බව ඔවුන් චෝදනා නගයි.
මුස්ලිම් ජනයා වෙනුවෙන් පෙනී සිටින එම උපදේශක කණ්ඩායම විසින් සඳහන්කර සිටින්නේ ෆේස්බුක් සමාගමේ නිලධාරීන් විසින් ඇමරිකානු පාරිභෝගික ආරක්ෂණ නීතිය උල්ලංඝණය කර ඇති බවයි.
සාමාන්‍ය ජනයා හට වෛරී ප්‍රකාශ, හිරිහැර කිරීම්, භයානක සංවිධාන, සහ ප්‍රචණ්ඩත්වයට අදාළ ෆේස්බුක් සමාගමේම ප්‍රතිපත්ති උල්ලංඝණය වන අතර මෙහිදී මුස්ලිම් සමාජයට එරෙහිව චෝදනා එල්ලවීමේ වැඩි ප්‍රවණතාවයක් තිබෙන බව ද අදාළ නඩුවෙහි සඳහන් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමේ ප්‍රකාශකයෙකු කියා සිටින්නේ, ෆේස්බුක් සමාජ ජාලය තුළ කිසිවිටක වෛරී ප්‍රකාශයන්ට ඉඩ ප්‍රස්ථාව ලබා නොදෙන බවත්, සිය පාර්ශවකරුවන් සමඟ වැඩ කටයුතු කරමින් ෆේස්බුක් ජාලය සෑම කෙනෙකුටම ආරක්ෂිත ස්ථානයක් බවට පත්කරන බවයි. එසේම ෆේස්බුක් ජාලය තුළ සඳහන් කරන වෛරී ප්‍රකාශන හඳුනා ගැනීමට සහ ඉවත් කිරීමට කෘතිම බුද්ධි තාක්ෂණය (Artificial Intelligence) යොදා ගන්නා බවත්ය.
මුස්ලිම්වරුන් වෙනුවෙන් පෙනී සිටින උපදේශක කණ්ඩායම කියා සිටින්නේ, 2017 වසරේදී ෆේස්බුක් සමාගමට, කණ්ඩායම් (Groups) 26 ක නාම ලේඛණයක් ලබාදුන් බවත්, නමුත් මාස 18 කට පසුවත් තවමත් එම කණ්ඩායම් 26 හි ෆේස්බුක් ගිණුම් ක්‍රියාත්මකව පවතින බවත් අදාළ පැමිණිල්ලෙහි සඳහන් කර ඇත.